නිව් යෝර්ක් නුවර JFK ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් පිටත් වූ ගුවන් යානයකට ප්‍රවේශ පත්‍රයක් නොමැතිව හොර රහසේ ඇතුළු වීම සම්බන්ධයෙන් වරදකාරිය වූ කාන්තාවකට, ඇය මේ වන විටත් ගෙවා ඇති සිර දඬුවම් කාලය සහ වසරක අධීක්ෂණ කාලයක් අධිකරණය විසින් නියම කර තිබේ. ස්වෙට්ලානා ඩාලි නම් මෙම කාන්තාව පසුගිය වසරේ නිව් යෝර්ක් සිට පැරිසිය බලා පියාසර කළ ඩෙල්ටා ගුවන් යානයකට මෙසේ ඇතුළු වී ඇත.
ඇමරිකානු හමුදාව තමන්ට වස දී ඇති නිසා සිය ජීවිතය බේරා ගැනීමේ අරමුණින් ගුවන් යානයට ඇතුළු වූ බව ස්වෙට්ලානා ඩාලි විනිසුරුවරයා හමුවේ ප්‍රකාශ කර තිබේ. රුසියානු පරිවර්තකයෙකු මාර්ගයෙන් ඇය අධිකරණයට දන්වා සිටියේ තම පාලනයෙන් තොර වූ තත්ත්වයන් යටතේ මෙම ක්‍රියාව සිදු කළ බවයි. "මට එක්සත් ජනපදයෙන් පලා යාමට බල කෙරුණේ මට වස දී තිබූ නිසයි," යනුවෙන් ඇය සඳහන් කළාය.
පසුගිය වසරේ නොවැම්බර් 26 වන දින,
ඩාලි කිසිදු ප්‍රවේශ පත්‍රයක් හෝ බෝඩිං බලපත්‍රයක් නොමැතිව, ආරක්ෂක මුරපොළවල් කිහිපයක් මග හරිමින් පැරිස් නුවර බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයකට ඇතුළු වී ඇත. ගුවන් යානයට ඇතුළු වූ පසු ඇය පැය කිහිපයක් පුරා නාන කාමරයක සැඟවී සිටි බවට නඩු පවරන්නන් අධිකරණයට දන්වා සිටියේය. ගුවන් සේවිකාවන් විසින් ඇයව සොයා ගත් විට, වමනය කරන බව මවා පාමින් තත්ත්වය මග හැරීමට ඇය උත්සාහ කර තිබේ. අනන්‍යතාව තහවුරු කිරීමට අපොහොසත් වීමෙන් පසු, ගුවන් යානය ගොඩබෑමට ආසන්නව තිබූ බැවින් කාර්ය මණ්ඩලයට වෙන් කළ අසුනක ඇයව වාඩි කරවා ඇත.
විනිසුරු ඈන් ඩොනලී පෙන්වා දුන්නේ ඩාලිට "දුෂ්කර ජීවිතයක්" පැවතියද, මෙවැනි ක්‍රියා වැළැක්වීමේ අවශ්‍යතාවය ඉතා වැදගත් බවයි. "ප්‍රවේශ පත්‍රයක් නොමැතිව යමෙකු ගුවන් යානයකට ඇතුළු වීම අනතුරුදායකයි. එය අන් අයටද එසේ කිරීමට පෙළඹවීමක් විය හැකි අතර, එය සමාජයක් ලෙස අපට නොඉවසිය හැකි තත්ත්වයකි," යනුවෙන් ඇය ප්‍රකාශ කළාය. මෙවැනි සිදුවීම් ගුවන් ගමන් ආරක්ෂාවට තර්ජනයක් වන අතර ගුවන්තොටුපළ ආරක්ෂක පද්ධතිවල විශ්වසනීයත්වය හෑල්ලුවට ලක් කරන බැවින්, දැඩි ක්‍රියාමාර්ග ගැනීමේ වැදගත්කම නඩු පවරන්නන් ද අවධාරණය කළේය.
වසරක අධීක්ෂණ කාලය, ඩාලිට අවශ්‍ය මානසික සෞඛ්‍ය ප්‍රතිකාර ලබා දීමට උපකාර කිරීමේ අරමුණින් නියම කළ බව විනිසුරුවරිය සඳහන් කළාය. ප්‍රංශයෙන් නැවත එක්සත් ජනපදයට පිටුවහල් කිරීමෙන් පසු FBI ආයතනය විසින් ඇයව අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඇප මත නිදහස් වීමෙන් පසු ඇය සිය වළලුකර නිරීක්ෂණ උපකරණය ඉවත් කර කැනඩාවට පලා යාමට උත්සාහ කර ඇත. එම උත්සාහය අසාර්ථක වීමෙන් පසු ඇයව නැවතත් රඳවා ගෙන තිබිණි.
ඩාලි මීට පෙරද අවස්ථා දෙකකදී, කනෙක්ටිකට් සහ මියාමි ජාත්‍යන්තර ගුවන්තොටුපළවලදී, මෙලෙස හොර රහසේ ගුවන් යානාවලට ඇතුළු වීමට උත්සාහ කර ඇති බවට නඩු පවරන්නන් විශ්වාසය පළ කරයි. මේ වන විටත් ඇය විඳ ඇති සිර දඬුවම සැලකිල්ලට ගෙන දඬුවම් නියම කර තිබුණ ද, කනෙක්ටිකට් ගුවන්තොටුපළේ සිදුවීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව තවත් ක්‍රියාකාරී නඩුවක් පවතින බැවින්, ඇයව වහාම නිදහස් නොකරන බවට බලධාරීන් පවසා ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval