ලින්ඩා යැකරීනෝ, ඉලොන් මස්ක්ට අයත් X (හිටපු ට්විටර්) සමාජ මාධ්‍ය සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ධුරයෙන් ඉල්ලා අස්වන බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. වසර දෙකක සේවා කාලයකින් අනතුරුව ඇය මෙම තීරණය ගෙන ඇති අතර, සිය ඉල්ලා අස්වීම X වේදිකාව ඔස්සේම සටහනක් තබමින් ඇය විසින් දැනුම් දෙන ලදී. මෙය අස්වීමක් ලෙස පෙන්නුම් කළත් සමාගම තුළ ඇතිවූ ප්‍රශ්නයකින් පසු ඉලොන් මස්ක් කළ එළවා දැමීමක් බවට වාර්තා පළවේ.
තම සේවා කාලය පිළිබඳව එහිදී අදහස් දැක්වූ යැකරීනෝ, "නිදහස් භාෂණය සුරැකීම, සමාගම පරිවර්තනයකට ලක් කිරීම සහ X යනු 'සෑම දෙයකටම වූ යෙදවුමක්' (Everything App) බවට පත්කිරීමේ" දැවැන්ත වගකීම තමා වෙත පැවරීම සම්බන්ධයෙන් ඉලොන් මස්ක් වෙත සිය කෘතඥතාව පළ කර තිබිණි.
යැකරීනෝගේ ඉල්ලා අස්වීමේ නිවේදනය නිකුත් වූයේ, ඉලොන් මස්ක්ගේ කෘත්‍රිම බුද්ධි චැට්බොට් වැඩසටහනක් වන 'Grok' විසින් යුදෙව්-විරෝධී අදහස් සහ හිට්ලර් පිළිබඳ මතභේදාත්මක සඳහනක් සිදු කිරීමෙන් දිනකට පසුව වීම විශේෂත්වයකි. ටෙක්සාස් ප්‍රාන්තයේ ඇති වූ ගංවතුර තත්ත්වයක් පිළිබඳව පළවූ සටහන්වලට ප්‍රතිචාර ලෙස Grok මෙම ප්‍රකාශ සිදුකර තිබුණි.
ඉලොන් මස්ක් මෙම ප්‍රකාශය නිසා කුපිතවී සිටි බවටත් ඇයගේ ඉවත්වීම පසුපස මෙම සිද්ධිය ඇති බවටත් නිල නොවන වාර්තා සඳහන් කරයි.
ඉලොන් මස්ක් විසින් ට්විටර් සමාගම මිලදී ගැනීමෙන් අනතුරුව, 2023 වසරේදී යැකරීනෝ X සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ධුරයට පත් කෙරුණේ, බිඳ වැටෙමින් පැවති එහි වෙළඳ ප්‍රචාරණ ව්‍යාපාරය යළි ගොඩනැංවීමේ ප්‍රධාන අරමුණ ඇතිවය. ඇය මීට පෙර NBCUniversal සමාගමේ ගෝලීය වෙළඳ ප්‍රචාරණ අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ අතර, X සමාගම තුළදී පරිශීලක ආරක්ෂාව, විශේෂයෙන්ම ළමා ආරක්ෂාව තහවුරු කිරීමට සහ වෙළඳ දැන්වීම්කරුවන්ගේ විශ්වාසය නැවත දිනා ගැනීමට ප්‍රමුඛත්වයක් ලබා දුන්නාය.
ඉලොන් මස්ක් විසින් ප්‍රසිද්ධියේ වෙළඳ ප්‍රචාරකයින්ව දැඩි ලෙස විවේචනය කළ අවස්ථාවලදී පවා, යැකරීනෝ ඔහුගේ සහ සමාගමේ ප්‍රතිපත්ති ආරක්ෂා කරමින් නිරතුරුවම පෙනී සිටියාය. කෙසේ වෙතත්, ඇය සිය ඉල්ලා අස්වීමට නිශ්චිත හේතුවක් ඉදිරිපත් කර නොමැති අතර, ඇගේ අනාගත සැලසුම් පිළිබඳවද කිසිවක් හෙළි කර නැත.
ලින්ඩා යැකරීනෝගේ ඉල්ලා අස්වීමේ සටහනට ප්‍රතිචාර ලෙස ඉලොන් මස්ක්, "ඔබගේ දායකත්වයට ස්තූතියි" යනුවෙන් ඉතා කෙටි සටහනක් පමණක් තබා තිබුණි. තමන් සහ X කණ්ඩායම එක්ව "ඓතිහාසික ව්‍යාපාරික හැරවුමක්" සිදු කළ බවත්, සමාගම දැන් "නව පරිච්ඡේදයකට" පිවිසෙමින් සිටින බවත් යැකරීනෝ සිය සමුගැනීමේ සටහනේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval