හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් එල්ල වී ඇති මූල්‍ය වංචා චෝදනාවකට අදාළ විමර්ශන, ප්‍රධාන සාක්ෂිකරුවෙකු සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් අඩාල වී ඇති බව වාර්තා වේ. අරගල සමයේදී විනාශ වූ බව පවසමින් රජයෙන් වන්දි ලබාගත් බව කියන තිස්සමහාරාමයේ ඉඩමක සැබෑ හිමිකරුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නොහැකි වීම මෙම තත්ත්වයට හේතු වී තිබේ.
2022 වසරේ මැයි මස 09 වන දින ඇති වූ නොසන්සුන්කාරී සිදුවීම්වලදී තිස්සමහාරාමයේ මාගම ප්‍රදේශයේ පිහිටි තම නිවස ඇතුළු දේපළ විනාශ වූ බවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, රුපියල් එක්කෝටි පනස් ලක්ෂ විසිදෙදහස් හයසීයක මුදලක් වංචනික ලෙස ලබාගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම පරීක්ෂණය ආරම්භ කරන ලදී. කෙසේ වෙතත්, එම ඉඩම චමල් රාජපක්ෂ මහතාට අයත් නොවන බවත්,
එහි පැවත ඇත්තේ නිවසක් නොව වී ගබඩාවක් පමණක් බවත් මේ වන විට සිදුකළ විමර්ශනවලදී තහවුරු වී ඇත.
අදාළ ඉඩමේ සැබෑ හිමිකරුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව චමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට අල්ලස් කොමිසම සැලසුම් කර තිබූ බවට තොරතුරු වාර්තා වේ. එහෙත්, එම පියවර ගැනීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලය විසින් මෙම සිදුවීම පිළිබඳ තොරතුරු 'සිළුමිණ' පුවත්පතට ලබා දී එය ප්‍රසිද්ධ කිරීමත් සමග තත්ත්වය වෙනස් වී තිබේ. ජූනි 07 වන දින එම පුවත පළ වීමෙන් පසු අදාළ ඉඩම් හිමියා අතුරුදන්ව ඇති අතර, විමර්ශන ඉදිරියට ගෙන යාමට එය ප්‍රබල බාධාවක් වී ඇත.
මෙම වන්දි මුදල ගෙවීමේ ක්‍රියාවලියේදී රාජ්‍ය නිලධාරීන්ගේ මැදිහත්වීම පිළිබඳව ද පරස්පර විරෝධී තොරතුරු අනාවරණය වී තිබේ. 2023 ජූලි 20 වන දින තක්සේරු දෙපාර්තමේන්තුවේ තක්සේරුකරුවෙකු විසින් අදාළ ඉඩමේ රුපියල් එක්කෝටි හතළිස් අට ලක්ෂයක් වටිනා නිවසක් තිබූ බවට වාර්තාවක් ඉදිරිපත් කර ඇත. එහෙත්, ඉන් දින කිහිපයකට පසු, 2023 ජූලි 27 වන දින රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් එවැනි ගෙවීමක් තම අමාත්‍යාංශයේ විෂය පථයට අයත් නොවන බවට හානි පූරණය සඳහා වන කාර්යාලයට ලිඛිතව දැනුම් දී තිබීම විශේෂත්වයකි.
මෙම සමස්ත සිදුවීම පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත මුල් පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ ද ජනාධිපති ලේකම් කාර්යාලය විසින් වීම තවත් සුවිශේෂී කරුණකි. චමල් රාජපක්ෂ මහතා විසින් මෙම දේපළ තමන් භුක්ති විඳින බවට දිවුරුම් පෙත්සමක් ද ඉදිරිපත් කර තිබූ අතර, නොපැවති නිවසක් වෙනුවෙන් රුපියල් එක්කෝටි හතළිස් අට ලක්ෂයක මුදලක් සහ හානියට පත් වී ගබඩාව වෙනුවෙන් රුපියල් 222,600ක මුදලක් වශයෙන් සම්පූර්ණ වන්දි මුදල ලබාගෙන ඇත. නීතියට සහ චක්‍රලේඛවලට පටහැනිව මෙම ගෙවීම් සඳහා අනුමැතිය ලබා දුන් රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව ද නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval