
බම්බලපිටිය ප්‍රදේශයේ බෝරා ප්‍රජාව වැඳුම් පිදුම් කළ දේවස්ථානය ආශ්‍රිතව සැකකටයුතු ලෙස හැසිරෙමින් ජංගම දුරකතනයකින් වීඩියෝ දර්ශන පටිගත කළ පුද්ගලික විශ්වවිද්‍යාල සිසුවෙකු බම්බලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොඩි සහරාන් යන අන්වර්ථ නාමයෙන් ද හැඳින්වෙන පස්රුල් රහ්මාන් මොහොමඩ් සහරාන් නමැති මෙම සැකකරු, බම්බලපිටියේ පිහිටි පෞද්ගලික ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක තොරතුරු තාක්ෂණ උපාධියක් හදාරමින් සිටින බවට අනාවරණය වී ඇත.
පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමේ චෝදනාවක් මත මීට පෙර ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස්ව සිටි අයෙකු බවට පොලිසිය තහවුරු කරගෙන තිබේ. රාජ්‍ය බුද්ධි සේවයෙන් ලද තොරතුරක් මත ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන්, බෝරා දේවස්ථානය සහ බම්බලපිටිය දුම්රිය ස්ථානය ආවරණය වන පරිදි සැකකරු වීඩියෝ කරමින් සිටියදී
දේවස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයේදී ඔහුව අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.
මහනුවර ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි මෙම සිසුවා, තාවකාලිකව එඬේරමුල්ල ප්‍රදේශයේ නවාතැන් ගෙන සිටින බවට හෙළිවී තිබේ. මූලික ප්‍රශ්න කිරීම් වලදී සැකකරු පවසා ඇත්තේ තමන් මීට පෙර බෝරා දේවස්ථානයේ ධජය දැක නොතිබූ බැවින්, කුතුහලය මත එය වීඩියෝ කළ බවයි. ඔහු සතුව තිබී අදාළ වීඩියෝ දර්ශන ඇතුළත් ස්මාට් වර්ගයේ ජංගම දුරකතනය ද පොලිස් භාරයට ගෙන ඇති අතර, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇත.
බම්බලපිටිය පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් පත්මලාල් මහතාගේ මෙහෙයවීමෙන්, උප පොලිස් පරීක්ෂක කසුන් වික්‍රමසිංහ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval