bail-denied-mervin-prasanna-and-others-will-be-in-custody-for-another-two-weeks

කිරිබත්ගොඩ නගරයේ ඉදි කිරීමට රජයට පවරා ගෙන තිබූ ඉඩමකට කූට ලේඛණ සකස් කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ඇමැති මර්වින් සිල්වා ඇතුළු සැකකරුවන් හය දෙනාගේ රිමාන්ඩ් කාලය ජුනි 23 වැනිදා දක්වා දීර්ඝ කරන ලෙස මහර අංක 01 අධිකරණයේ මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය අද (ජුනි 09) නියෝග කළාය.



ඒ අනුව, රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ඇමැති මර්වින් සිල්වා, හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර,

කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති වෛද්‍ය ජයන්ත සිංහබාහු කබ්රාල්, එහි හිටපු මන්ත්‍රී මිල්රෝයි පෙරේරා, හිටපු ඇමැති මර්වින් සිල්වාගේ එවකට පාර්ලිමේන්තු කටයුතු හිටපු ලේකම් දොන් සරත් කුමාර එදිරිසිංහ නොහොත් සිංගප්පූරු සරත් හා නවීන් වීරකෝන් යන හය දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට නියම කෙරිණි.

අද පස්වරුවේ මෙම නඩුව නැවත කැඳවූ අවස්ථාවේදී, දෙවන සැකකාර හිටපු ඇමැති මර්වින් සිල්වා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා විසින් තම සේවාදායකයාට ඇප ලබා ගැනීම සඳහා දෙවන වරටත් ඉදිරිපත් කරන ලද ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරිය නියෝගයක් ලබා දුන්නාය. පෙර ඉදිරිපත් කළ අයදුම්පත ප්‍රතික්ෂේප කළ ආකාරයටම මෙම අයදුම්පතද ප්‍රතික්ෂේප කරන බව ඇය ප්‍රකාශ කළාය.



මීට පෙර පැවති නඩු දිනයේදී හිටපු ඇමැති මර්වින් සිල්වාට ඇප ලබා දෙන ලෙස ඉල්ලමින් ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලද ඇප අයදුම්පත සම්බන්ධයෙන් නියෝගය ජුනි 09 වැනිදා ලබා දෙන බවට මහේස්ත්‍රාත්වරිය විසින් කර තිබූ ප්‍රකාශය අනුව, එම ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් අද නියෝගය ලබා දුන්නාය.

අද දින හතරවන සැකකාර හිටපු ඇමැති මර්වින් සිල්වාගේ එවකට පාර්ලිමේන්තු කටයුතු හිටපු ලේකම් දොන් සරත් කුමාර එදිරිසිංහ නොහොත් සිංගප්පූරු සරත් පමණක් අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර, සෙසු සැකකරුවන් ස්කයිප් තාක්ෂණය ඔස්සේ අධිකරණයට සම්බන්ධ කර ගැනිණි. ඔවුන්ට නියෝගය බන්ධනාගාරය මගින් දන්වන බවද මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය.