
පළාත් පාලන මැතිවරණය මැයි මස දෙවැනි සතියේ පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම මැතිවරණය බොහෝ විට මැයි 10 වැනිදා බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිත බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි. මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිල නිවේදනයක් නිකුත් කරමින් මාර්තු 03 වැනිදා ප්‍රකාශ කළේ, එම මැතිවරණයේ නාමයෝජනා බාර ගැනීම මේ මස 17, 18 සහ 19 යන දිනවල කාර්යාල වේලාව තුළත් 20 වැනිදා දහවල් 12 දක්වාත් සිදු කෙරෙන බවයි.
රට පුරා පළාත් පාලන ආයතන 336 කට සභිකයන් තෝරා ගැනීම සඳහා වන ඡන්ද විමසීමට මාර්තු 3 සිට මෙම මස 19 වැනිදා දහවල් 12 දක්වා ඇප මුදල් බාර ගන්නා බවද මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේය. පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා බාරගෙන අවසන් වූ පසු දින දෙකක් ඇතුළත කොමිෂන් සභාව නාමයෝජනා දැන්වීම අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කෙරෙන අතර එතැන් සිට දින 35ත් දින 49ත් අතර කාලයේදී ඡන්ද විමසීම පැවැත්විය යුතු බව පළාත් පාලන ඡන්ද විමසීම් පනතේ සඳහන් කර තිබේ.
ඒ අනුව අප්‍රේල් 27 වැනිදා සිට මැයි මස 10 වැනිදා අතර කාලයේදී පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්විය යුතුය. පනතට අනුව නාමයෝජනා දැන්වීම ප්‍රකාශයට පත්කර දින 35ක් ගතවන්නේ අප්‍රේල් 27 වැනිදා වන අතර එදින වනතෙක් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා දැක්ම පැවැත්වෙයි.
එම නිසා එම දිනයේ හෝ ආසන්න දිනයක හෝ ඡන්ද විමසීම නොපැවැත්වෙන බවද මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉන් පසුව එළැඹෙන සතියේදී ජාත්‍යන්තර කම්කරු දිනය මැයි පළමු වැනිදාට යෙදෙන හෙයින් රට පුරා පෙළපාළි හා රැස්වීම් ආදිය පැවැත්වෙන හෙයින්ද එදින හෝ ඊට ආසන්න දිනයකද ඡන්ද විමසීම පැවැත්වීම දුෂ්කර බවද එම ආරංචි මාර්ග කියයි. ඉන්පසුව යෙදෙන සතිය බොහෝ විට නිදහස් වන අතර පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙනු ඇතැයි ද එය මැයි 10 වැනිදාට පෙර පැවැත්වෙනු ඇතැයිද මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග කියයි.
පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබුණේ 2023 වසරේදීය. එවකට රටේ පැවති ආර්ථික අර්බුදය සහ කොවිඩ් වසංගතය වැනි සුවිශේෂ කරුණු හේතුවෙන් එම ඡන්ද විමසීම දින නියමයක් නැතිව කල් දැමීමට මැතිවරණ කොමිෂන් සභාවට සිදුවිය. පළාත් පාලන ඡන්ද විමසීම අවසන් වරට පැවැතියේ 2018 වසරේ පෙබරවාරි 19 වැනිදාය. ඉන්පසු වසර හතරක නිල කාලයෙන් පසුව එම සභා විසිරුවා නොහැරි අතර පළාත් පාලන විෂය භාර ඇමැතිවරයාගේ බලතල අනුව සභාවල නිල කාලය වසරකින් දීර්ඝ කෙරිණ.
රටේ පැවැති ආර්ථික හා දේශපාලන අර්බුද මධ්‍යයේ වුවද කෙසේ හෝ ඡන්ද විමසීම පැවැත්වීමට එවකට මැතිවරණ කොමිෂන් සභාවට අවශ්‍ය වූ හෙයින් 2023 වසරේ ජනවාරි 5 වැනිදා ඒ සඳහා නාමයෝජනා කැඳවිණ. ඒ අනුව එම ඡන්ද විමසීම 2023 වසරේ මාර්තු 9 වැනිදා පැවැත්වීමට මුලදී මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළේය. එහෙත් මුදල් අමාත්‍යාංශය ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් නොකිරීම සහ රජයේ මුද්‍රණාලයෙන් සහ පොලිසිය යන ආයතනවලින් සපයන සේවා සඳහා මුදල් ඉල්ලීම ආදී කරුණු හේතු කර ගෙන පුංචි ඡන්දය පැවැත්වීම අර්බුදයක් බවට පත්විය.
මේ තත්ත්වයන් හමුවේ එම ඡන්ද විමසීම 2023 වසරේ අප්‍රේල් 25 වැනිදා දක්වා සති කිහිපයකින් නැවත කල් තැබීමට එවක මැතිවරණ කොමිෂන් සභාව තීරණයක් ගත්තේය. එදින ඡන්ද විමසීම පැවැත්වීමටද මහා භාණ්ඩාගාරයෙන් මුදල් ප්‍රතිපාදන වෙන් නොවූ අතර මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් මුදල් වෙන් කිරීමට මුදල් විෂය භාර අමාත්‍යවරයාව සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝගයක් නිකුත් කර තිබූ බවය.
ඉන්පසුව මැතිවරණය පවත්වන්නැයි ඉල්ලමින් පාර්ශව කීපයක්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ අතර එම නඩු විභාග වෙමින් තිබියදී මැතිවරණ කොමිෂන් සභාව ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල් දැමීමට පියවර ගත්තේය. මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වූයේ මුදල් අමාත්‍යාංශය ප්‍රතිපාදන ලබාදෙන දිනය හෝ ශ්‍රේෂ්ඨාධිකරණ ඡන්ද විමසීම පැවැත්වීමට අදාළව ලබාදෙන නියෝගය නිකුත් කරන දිනය යන දින දෙකෙන් ප්‍රථමයෙන් එළැඹෙන දිනයක දී ඡන්ද විමසීම පැවැත්වීමට කොමිසම තීරණය කර තිබෙන බවය.
කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තීරණයක් ලබා දුන්නේ පළාත් පාලන මැතිවරණයට මුදල් වෙන් නොකිරීම නිසා මුදල් අමාත්‍යවරයා රටේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබූ බවය. මැතිවරණ කොමිසම අදාළ රාජ්‍ය නිලධාරීන් සමග නිසි පරිදි සම්බන්ධීකරණය නොවී ඡන්ද විමසීම නොපැවැත්වීම නිසාද පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවය. කෙසේ වෙතත් පැවැති අර්බුද හා අලුතෙන් පළාත් පාලන ඡන්ද විමසීම් සංශෝධන පනත පාර්ලිමේන්තුවේ සම්මතවීම ආදී කරුණු මුල් කරගනිමින් එවකට කැඳවා තිබුණු නාමයෝජනා අවලංගු කිරීමට පාර්ලිමේන්තුව නව නීති සකස් කළේය.
ඒ අනුව මෙවර පළාත් පාලන ආයතන 336 කට සභිකයන් තෝරා ගැනීම සඳහා ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය. අම්පාර දිස්ත්‍රික්කේ කල්මුණේ මහ නගර සභාව, දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාව, මන්නාරම දිස්ත්‍රික්කයේ මන්නාරම ප්‍රාදේශීය සභාව, කිලිනොච්චිය පූනාකර ප්‍රාදේශීය සභාව සහ ගාල්ල දිස්ත්‍රිකයේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව යන ආයතනවල ඡන්ද විමසීම මෙවර නොපැවැත්වේ. එනම් මහ නගර සභා 28 ක්, නගරසභා 36ක් සහ ප්‍රාදේශීය සභා 272 ක් සඳහා මෙවර මැතිවරණයේදී සභිකයන් තෝරා ගැනීමට නියමිතය.
මෙම මැතිවරණය පැවැත්වීම සඳහා මෙම වසරේ ශ්‍රී ලංකාවේ මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති බවත්, මෙවර මැතිවරණය නියමිත දිනට පැවැත්වීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බවත් මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කර තිබේ. 2018 සිට වසර හයකට ආසන්න කාලයකට පසු පැවැත්වීමට යන මෙම මැතිවරණය සම්බන්ධයෙන් ජනතාව තුළ විශාල උනන්දුවක් දැකිය හැකි අතර, විවිධ දේශපාලන පක්ෂ මේ වන විටත් ඡන්ද ව්‍යාපාර ආරම්භ කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval