
බලංගොඩ ප්‍රදේශයේ සිට අනුරාධපුර පූජා නගරයට වන්දනා ගමනක නිරත වූ 71 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් රැගෙන ආ බස් රථයක ඊයේ (21) රාත්‍රියේ හටගත් ගින්නකින් එහි නිදාගෙන සිටි ආහාර පිළියෙල කරන්නෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම අනතුර සිදුව ඇත්තේ අලුයම 2.00ට පමණ වන අතර, බස් රථය සම්පූර්ණයෙන්ම ගින්නෙන් විනාශ වී ඇති බව පොලීසිය වාර්තා කරයි.
උඩමළුව පොලිස් වසමේ ජේතවනාරාමය අසල පිහිටි බැස්ටියන් විශ්‍රාම ශාලාව අසල නවතා තිබූ බස් රථයේ මෙම ගින්න හටගෙන ඇත. මියගිය පුද්ගලයා වයස අවුරුදු 55ක් පමණ වන ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන තිබේ. ඔහු වන්දනා නඩය සමඟ ගමන් කරමින් කණ්ඩායමේ ආහාර පිළියෙල කිරීමේ කටයුතු භාරව කටයුතු කර ඇත.
මෙම වන්දනා කණ්ඩායම ඊයේ සවස අනුරාධපුරයට පැමිණ බැස්ටියන් විශ්‍රාම ශාලාවේ නවාතැන් ගෙන තිබේ. කණ්ඩායමෙන් කොටසක් වන්දනා කටයුතු සඳහා පිටත්ව ගොස් තිබෙන අතර, මියගිය පුද්ගලයා බස් රථය තුළ නිදාගෙන සිටි අවස්ථාවේ මෙම ගින්න සිදුව ඇත.
ගින්න ගැන මුලින්ම දැනගෙන ඇත්තේ විශ්‍රාම ශාලාවේ නවාතැන් ගෙන සිටි වෙනත් වන්දනා නඩයක පිරිසක් විසිනි. ඔවුන්ගේ දැනුම් දීමත් සමඟ වහාම ක්‍රියාත්මක වූ අනුරාධපුර මහ නගර සභාවේ ගිනි නිවන නිලධාරීන් ස්ථානයට පැමිණ ගින්න පාලනය කිරීමට කටයුතු කර තිබේ. කෙසේ වෙතත්, ඒවන විට බස් රථය සම්පූර්ණයෙන්ම ගින්නෙන් විනාශ වී තිබූ අතර, එහි සිටි පුද්ගලයා ද ගින්නට හසුව මිය ගොස් තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර නගර සභා ගිනි නිවීමේ ඒකකය, අනුරාධපුර පොලිසිය සහ උඩමළුව පොලිසිය ඒකාබද්ධව මෙහෙයුමක් සිදු කර ගින්න මැඩපවත්වා ඇත. මෙම අනතුරේ හේතුව තවමත් හඳුනාගෙන නොමැති අතර, උඩමළුව පොලිසිය ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටී.

Comments
Post a Comment
Your comment will be visible after approval