
පසුගිය දිනවල සිදු වූ පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් දේශපාලනඥයන් සම්බන්ධ නම්, ඉදිරි විමර්ශනවලදී ඔවුන්ගේ නම් හෙළිදරව් වනු ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.
කොළඹදී පසුගිය දින (25) පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදු කළ අතර, පාතාල සිදුවීම් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ සිදු කරන ලෙස රජය ආරක්ෂක අංශවලට දැනුම් දී ඇති බවත්, එම විමර්ශනවලින් පසු මෙයට සම්බන්ධ සියලු පිරිස් ගැන නම් ගම් සහිතව රටට හෙළිදරව් කරන බවත් ඔහු සඳහන් කළේය.
රට තුළ සිදුවන අපරාධ සහ ආරක්ෂක අංශ ඒ සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාර පිළිබඳව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කළ විමසීමකදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.
"මේ සිදුව තිබෙන්නේ සංවිධානාත්මක අපරාධ කල්ලි අතර සිදුවීම් කියලා මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු රජය දිගින් දිගටම පැවැසුවා. මෙය දඩමීමා කරගෙන රටේ ජාතික ආරක්ෂාව අනතුරේ කියලා විපක්ෂය පැත්තෙන් ලොකු ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙන යනවා. සංචාරකයන්ට ප්‍රශ්නයක් තියෙනවා කියලා ඒ පැත්තත් ඔවුන් මතු කරමින් ඉන්නවා. ජාතික ආරක්ෂාව ගැන කිසිදු ගැටලුවක් නැහැ කියලා අපි පැහැදිලිව කියලා තියෙනවා. අපි සිද්ධි ගැන විමර්ශන කරමින් තීරණ ගනිමින් සිටිනවා," යැයි ඇමතිවරයා පැවසීය.
ඇමති ජයතිස්ස මහතා තවදුරටත් කරුණු දක්වමින්, "මේ ජාලයේ මුල් කොතරම් විහිදී තියෙනවා ද කියලා ඔබට පේන්න තිබෙනවා. දැනටමත් පොලිසියේ කිහිප දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තවත් අය ගැන විමර්ශන කරමින් යනවා. වට්සැප් දුරකතන ඇමතුම් පණිවිඩ පරීක්ෂා කරමින් යනවා. එතැනදී දේශපාලනඥයන් සම්බන්ධ වුණොත් විමර්ශනවල විදිහට හෙළිදරව් වේවි. ඒ හෙළිදරව් වූ අයගේ නම් ඔබට ඉදිරියේදී දැනගන්න ලැබේවි. මෙයට සම්බන්ධ සියලු දෙනාම නීතිය හමුවට පමුණුවන්න කටයුතු කරනවා. ඒ නිසා කිසිසේත්ම කලින් ආණ්ඩු වගේ මේ පාතාල කල්ලිවලට දේශපාලන රැකවරණ ලබා දීලා රටේ නීතිය හා සාමය බිඳවට්ටන්න අපි ඉඩ දෙන්නේ නැහැ. ජනතාව ප්‍රතික්ෂේප කරපු පිරිස් ජාතික ආරක්ෂාවට මුවා වෙලා දැන් එළි බැහැලා තියෙනවා," යැයි පැවසීය.
මාධ්‍යවේදීන් විසින් අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ පොලිස් අත්අඩංගුවේ පසු වූ සැකකරුවන් දෙදෙනකු ආයුධ පෙන්වීමට යාමේදී ඝාතනයට ලක්වීම සම්බන්ධයෙන් "මේක පරණ පුරුදු සෙල්ලමක්ද?" යන්න ගැනයි.
එයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා, "ආණ්ඩුවක් විදිහට අපේ අවශ්‍යතාව තිබෙන්නේ මේ සියලු දෙනා අධිකරණය හමුවට පමුණුවා නීතිය ක්‍රියාත්මක කිරීමයි. යම් තැනකදී ඒ ක්‍රියාවලියට බාධාවක් වෙනවා නම් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරනවා. පසුගිය දිනවල සියලු සිදුවීම් සම්බන්ධයෙන් අදාළ පාර්ශ්ව විසින් විමර්ශන කරගෙන යනවා. කවර පාර්ශ්වයෙන් අඩුපාඩු වුවත් ඒ සම්බන්ධයෙන් රජය අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා," යැයි පැවසීය.
තවත් මාධ්‍යවේදියෙක් විමසා සිටියේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පසුගිය කාලයේ මෙවැනි ඝාතන දිගින් දිගටම විවේචනය කළ නමුත් දැන් ආණ්ඩුව යටතේද එවැනි සිදුවීම් සිදුවන බවයි.
ඊට පිළිතුරු දෙමින් ඇමති ජයතිස්ස, "අපි තවමත් ඒ ස්ථාවරයේ සිටිනවා. මෙතැන කොතැන හෝ අඩුපාඩුවක් වී ඇත්නම් එය නිවැරැදි කිරීමට කටයුතු කරනවා. මට අවසන් නිගමනයට එන්න බැහැ. සියල්ල සිදුවන්නේ විමර්ශනයට යටත්වයි. පුරවැසියාගේ ආරක්ෂාව පිළිබඳ අපි සහතික වනවා," යැයි පැවසීය.
අවසන් ප්‍රශ්නයක් ලෙස, ඇමතිවරයා පසුගිය දිනවල සිදු වූ එවැනි සිදුවීම් හෙළා දැක්කා, කණගාටුව පළ කළා යැයි සඳහන් කරමින් මෙම සිදුවීම හෙළා නොදකින්නේ ඇයි දැයි මාධ්‍යවේදියෙක් විමසා සිටියේය.
පිළිතුරු දෙමින් අමාත්‍යවරයා, "සිදුවීම පිළිබඳ පූර්ණ විමර්ශනයක් නොකර ආණ්ඩුවක් විදිහට එහෙම ප්‍රකාශ කරන්න බැහැ. සියලු විමර්ශන අවසානයේදී ඔබට ඒ පිළිබඳ පැහැදිලි තොරතුරු ලබා දෙන්නම්," යැයි පවසා සිටියේය.
මාධ්‍යවේදීන් අවසාන වශයෙන් ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට පාතාල තර්ජන එල්ල වී ඇති බවට මාධ්‍ය වාර්තා කරන බව පවසමින් ඒ පිළිබඳව විමසා සිටියේය.
එයට පිළිතුරු දෙමින් ඇමති ජයතිස්ස, "ජනාධිපතිගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වුණේ නැහැ," යැයි පැවසීය.
මෙම ප්‍රකාශ සිදු කරනු ලැබුවේ පසුගිය දිනවල රට තුළ සිදු වූ පාතාල ඝාතන හා සාමය කඩවීම් සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පැහැදිලි කරමිනි. රජය මෙම සිදුවීම් පිළිබඳව පූර්ණ විමර්ශන සිදු කරන බවත්, ඒවාට සම්බන්ධ සියලු පාර්ශ්ව, ඒ අතර දේශපාලනඥයන් සිටියහොත් ඔවුන්ද, නීතිය හමුවට පමුණුවන බවත් රජය අවධාරණය කර ඇත.
මෙම ප්‍රකාශය අනුව, රජය වට්සැප් ඇතුළු සන්නිවේදන මාධ්‍ය හරහා හුවමාරු වූ පණිවිඩ විශ්ලේෂණය කරමින් විමර්ශන කරගෙන යන බවත්, එමගින් මෙම ජාලයේ සම්බන්ධතා හෙළිදරව් කරගැනීමට කටයුතු කරන බවත් පැහැදිලි වෙයි. රජය අවධාරණය කරන්නේ පසුගිය රජයන් මෙන් නොව, පාතාල කල්ලිවලට දේශපාලන රැකවරණ ලබා නොදෙන බවත්, රටේ නීතිය හා සාමය සුරැකීම උදෙසා සියලු පියවර ගන්නා බවත්ය.
Comments
Post a Comment
Your comment will be visible after approval