tvs-motorcycles-scooters-and-mopeds-successfully-assembled-locally

ටීවීඑස් ලංකා ආයතනය විසින් ඊයේ දින නිකුත් කළ නිවේදනයකට අනුව, යතුරුපැදි, ස්කූටර් සහ මොපෙඩ් යන සියලු වර්ගවල ද්විත්ව රෝද වාහන දේශීය අගය එකතු කිරීමෙන් නිෂ්පාදනය කරමින් ශ්‍රී ලංකාවේ ද්විත්ව රෝද වාහන කර්මාන්තය නව මාවතකට යොමු කරමින් සිටින බව ප්‍රකාශ කර සිටියි.



ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින මෙම කාලවකවානුවේදී, ටීවීඑස් ලංකා ආයතනයේ දේශීය නිෂ්පාදන දායකත්වය රටේ ආර්ථිකය ප්‍රතිජීවනය කිරීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන අතර, ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් වෙත තිරසාර හා පිරිවැය-ඵලදායී ප්‍රවාහන විසඳුම් ලබා දීමට කැපවී සිටී.

2021 වසරේදී ක්‍රියාත්මක කරන ලද නවීනතම වාහන එකලස් කිරීමේ පහසුකම් සහිත නිෂ්පාදනාගාරය ආරම්භයේ සිට, ටීවීඑස් ලංකා ආයතනය දේශීය නිෂ්පාදන හැකියාවන් වැඩිදියුණු කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇත. රුපියල් මිලියන 500කට අධික ආයෝජනයක් සහිතව ස්ථාපිත කරන ලද මෙම පහසුකම, ඉන්දියාවේ පුහුණුව ලැබූ කළමනාකරුවන් සහ තාක්ෂණවේදීන් විසින් මෙහෙයවනු ලබන අතර, එමගින් දේශීය නිෂ්පාදනයේදී ගෝලීය විශේෂඥතාව සහතික කෙරේ. මෙම මුල පිරීම කර්මාන්ත අමාත්‍යාංශයේ දේශීය අගය එකතු කිරීමේ වැඩසටහන සමඟ අනුගත වන අතර, ගුණාත්මක භාවය සහ නවෝත්පාදන සඳහා නව ප්‍රමිතීන් ස්ථාපිත කරයි.



ටීවීඑස් ලංකා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ගීතාල් ඇන්තනි මහතා මෙසේ අදහස් දැක්වීය: "රුපියලේ අවප්‍රමාණය කළමනාකරණය කිරීම සඳහා මෙම ප්‍රයත්නය විශේෂයෙන්ම කාලෝචිත යැයි අපි සිතන්නෙමු. ශ්‍රී ලංකාවේ අමතර කොටස් නිෂ්පාදන කර්මාන්තය සංවර්ධනය කිරීමට අපි කැපවී සිටින අතර, ටීවීඑස් ආයතනය විසින් සිදු කරන ලද ආයෝජන මත පදනම්ව, විදේශීය පුහුණුවට නිරාවරණය වූ සහ දැන් මූල උපකරණ තත්ත්වයෙන් පිළිගනු ලබන අමතර කොටස් නිෂ්පාදකයින්ගේ සම්පූර්ණ පරිසර පද්ධතියක් සංවර්ධනය කර ඇති බව සතුටින් ප්‍රකාශ කරමි."

ටීවීඑස් ලංකා ආයතනයේ මෙහෙයුම් මගින් ශ්‍රී ලාංකික තරුණයින් සහ නිපුණතා සහිත වෘත්තිකයින් සඳහා රැකියා අවස්ථා උත්පාදනය කරන අතර, සැපයුම් දාමයේ නියැලී සිටින දේශීය ව්‍යාපාර සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහය වෙයි. සමාගමේ දායකත්වය ජාත්‍යන්තර පිළිගැනීමට පාත්‍ර වී ඇති අතර, ටීවීඑස් ඉන්දියා සමඟ සහයෝගීතාවයෙන් ශ්‍රී ලංකාවේ විකාශනය වන ප්‍රවාහන අවශ්‍යතා සඳහා නවෝත්පාදන සහ තිරසාර විසඳුම් ලබා දීමට සමාගම දිගටම කැපවී සිටී.



ටීවීඑස් ලංකා ආයතනයේ මෙම උත්සාහය විදේශ විනිමය ඉතිරි කර ගැනීමට සහ රටේ ආර්ථික ප්‍රතිජීවනයට සැලකිය යුතු දායකත්වයක් සපයයි. දේශීය නිෂ්පාදන ක්‍රියාවලිය තුළින් රැකියා අවස්ථා බිහි කිරීම, තාක්ෂණික දැනුම හුවමාරුව සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට නව අවස්ථා උදා කිරීම වැනි බහුවිධ ප්‍රතිලාභ රටට හිමි වේ.

මෙම සාර්ථක ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ වාහන කර්මාන්තයේ අනාගත දියුණුව සඳහා කදිම නිදසුනක් ලෙස සැලකිය හැකි අතර, දේශීය නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම තුළින් රටේ ආර්ථික ස්ථාවරත්වයට දායක වීමේ ප්‍රයත්නයක් ලෙස හඳුනාගත හැකිය.