this-time-the-second-lady-of-america-is-usha-vance-the-indian-wife-of-the-vice-president

මින් ඉහත ඉන්දියානු සම්භවයක් සහිත කමලා හැරිස් ඇමරිකාවේ උප ජනපතිවරිය ලෙස කටයුතු කළ අතර ඇගේ ඇවෑමෙන් පසුගියදා පත්වූ ජේ.ඩී. වන්ස් සුදු ජාතික උප ජනපතිවරයාගේ බිරිය ඉන්දීය සම්භවයක් සහිත උෂා වන්ස්ය.
මෙම කාරණාව නිසා 'තමන්ගේ එකෙක් ලොකු තැනක' යයි කියමින් ඉන්දියානුවෝ දැන් සතුටට පත්වී සිටිති.
2025 ජනවාරි 20 වන දින, ජේ.ඩී. වන්ස්  උප ජනාධිපති ලෙස දිවුරුම් දුන් අතර උප ජනාධිපති බිරිඳ ලෙස 'සෙකන්ඩ් ලේඩී' තනතුර දරන ප්‍රථම ඉන්දියානු-ඇමරිකානු සහ හින්දු භක්තිකයා බවට උෂා පත්වූවාය.

1986 ජනවාරි 6 වන දින කැලිෆෝනියාවේ සැන් ඩියාගෝදී තෙලුගු සම්භවයක් ඇති සංක්‍රමණික දෙමාපියන්ගේ දියණියක් ලෙස උෂා බාලා චිලුකුරි නමින් උපත ලැබූ ඇය, මධ්‍යම පාන්තික පරිසරයක හැදී වැඩුණි.
උෂා වන්ස්ගේ පාරම්පරික ගම වන ආන්ද්‍ර ප්‍රදේශ් හි වද්ලූරු හි වැසියෝ විශේෂ ආගමික වතාවත්, ගිනිකෙළි සහ රසකැවිලි බෙදාදීම් සමඟින් මෙම ජයග්‍රහණය සැමරූහ. ගම්වාසීහු උෂා වන්ස්ගේ පවුල විසින් සායිබාබා දේවාලයක් සඳහා ඉඩම් පරිත්‍යාග කිරීම ඇතුළු ගමට කළ යහපත් සේවාවන් සිහිපත් කළහ.
1980 දශකයේදී ඇමරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වූ ඉන්දියානු දෙමාපියන්ට දාව උෂා වන්ස් උපත ලැබුවාය. ඇයගේ පියා වන චිලුකුරි රාධාක්‍රිෂ්ණා, IIT මද්‍රාස් හි යාන්ත්‍රික ඉංජිනේරුවරයෙකු වන අතර, මව ලක්ෂ්මී අණුක ජීව විද්‍යාඥවරියකි. උෂා  ඇමරිකාවේ උපත ලබා එහිම වාසය කළ අතර යේල් විශ්වවිද්‍යාලයෙන් ඉතිහාසය පිළිබඳ උපාධියක් ලබාගත් ඇය, පසුව කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ගේට්ස් ශිෂ්‍යත්වයක් ලබා ගත්තාය.

  පසුව යේල් නීති පීඨයෙන් නීතිවේදී උපාධියක් ලබාගත් ඇයට එහිදීම තම සැමියා වන ජේ.ඩී. වන්ස් හමුවිය.

2014 දී අන්තර් ආගමික විවාහ මංගල්‍යයකින් යුගදිවියට පිවිසි ඔවුන්, දරුවන් තිදෙනෙකුගේ දෙමාපියෝ වෙති. හින්දු භක්තිකයක් වන උෂා වන්ස්ගේ සැමියා, මූලික වශයෙන් ඉවැන්ජලික් ක්‍රිස්තියානි බැතිමතෙකු වුවද, 2019 දී කතෝලික ධර්මය වැළඳගත් අයෙකි.

වෘත්තීය ජීවිතයේදී සාර්ථක නීති උපදේශිකාවක් ලෙස කටයුතු කළ උෂා වන්ස්, ප්‍රධාන විනිසුරු ජොන් රොබට්ස් සහ විනිසුරු බ්‍රෙට් කවනෝ යන අයගේ නීති ලේඛකයා ලෙසද සේවය කර ඇත. 2024 ජූලි මාසයේදී තම සැමියාගේ මැතිවරණ ව්‍යාපාරයට සහය දැක්වීම සඳහා ඇය තම නීති වෘත්තියෙන් ඉවත් විය.

උප ජනාධිපති බිරිඳ ලෙස, උෂා වන්ස් තම සැමියාගේ රාජකාරි කටයුතුවලට සහය දක්වමින්, ඇමරිකා එක්සත් ජනපද දේශපාලනයේ ඉන්දියානු-ඇමරිකානු නියෝජනය සහ බලපෑම වැඩිවීමේ සංකේතයක් ලෙස පිළිගැනේ. 1949න් පසු මෙම තනතුරට පත්වූ ළාබාලතම කාන්තාව වන්නේ ද ඇයයි.


2024 රිපබ්ලිකන් ජාතික සම්මේලනයේදී තම සැමියා හඳුන්වාදෙමින් කළ කථාව විශේෂ අවස්ථාවක් විය. වොෂිංටන් ජාතික ඔපෙරා සභාවේ භාරකාරිනියක් ලෙසද, ගේට්ස් කේම්බ්‍රිජ් ආදි ශිෂ්‍ය සංගමයේ සහ සින්සිනාටි සිම්ෆනි ඔකෙස්ත්‍රාවේ ලේකම් ලෙසද ඇය සේවය කර ඇත.

උෂා වන්ස් තම නීති විශාරද පසුබිම සහ උප ජනාධිපති බිරිඳ ලෙස වගකීම් සමබර කරගනිමින්, තම විශේෂඥතාව හා බලපෑම උපයෝගී කරගනිමින් සැමියාට සහය දක්වයි. ඇයගේ සැමියා විසින් "ආත්ම මාර්ගෝපදේශක" ලෙස විස්තර කර ඇති අතර, පැය කිහිපයක් තුළ පිටු දහසක පොතක් අධ්‍යයනය කළ හැකි බුද්ධිමත් කාන්තාවක් ලෙස ප්‍රශංසාවට ලක්ව සිටී.

සාම්ප්‍රදායික අමෙරිකානු විලාසිතා සමඟ තම ඉන්දියානු උරුමය මිශ්‍ර කරමින් අනන්‍ය විලාසිතාවක් ගොඩනඟාගෙන ඇති ඇය, හින්දු ආගමික සම්ප්‍රදායන් අනුගමනය කරමින් ගරුත්වය, විනය සහ අන් අය වෙනුවෙන් සේවය කිරීම වැනි වටිනාකම් අගය කරයි.

උෂා වන්ස්ගේ පාරම්පරික ගම වන ආන්ද්‍ර ප්‍රදේශ් හි වද්ලූරු හි වැසියෝ විශේෂ ආගමික වතාවත්, ගිනිකෙළි සහ රසකැවිලි බෙදාදීම් සමඟින් මෙම ජයග්‍රහණය සැමරූහ. ගම්වාසීහු උෂා වන්ස්ගේ පවුල විසින් සායිබාබා දේවාලයක් සඳහා ඉඩම් පරිත්‍යාග කිරීම ඇතුළු ගමට කළ යහපත් සේවාවන් සිහිපත් කළහ.
බොහෝ ඉන්දියානුවන් උෂා වන්ස්ගේ සාර්ථකත්වය වෙනුවෙන් විශේෂ ආගමික වතාවත් සිදු කළ අතර, ඇයගේ සැමියාගේ ජයග්‍රහණය ඉන්දු-ඇමරිකානු සබඳතා තවදුරටත් ශක්තිමත් කරනු ඇතැයි අපේක්ෂා කරති. විශේෂයෙන් ධවල මන්දිරය සමග ඇයට පවතින සම්බන්ධය එරට වාසය කරන ඉන්දියානුවන්ට ශක්තියක් වී ඇත.