
සාමකාමී රටක් ලෙස සැලකෙන ස්වීඩනයේ අධ්‍යාපන ආයතනයක් තුළ කලාතුරකින් සිදුවූ වෙඩි තැබීමේ සිදුවීමක් නිසා කම්පනයට පත්ව ඇත.
ස්ටොක්හෝම් නුවරට බටහිරින් පිහිටි ඕරේබ්‍රෝ නගරයේ වයස 20 ට වැඩි අයට සේවා සලසන වැඩිහිටි අධ්‍යාපන මධ්‍යස්ථානයක අඟහරුවාදා (4) සිදුවූ මෙම සාහසික වෙඩි තැබීමෙන් පුද්ගලයින් දහයක් පමණ මියගොස් ඇති බව ස්වීඩන් පොලීසිය වාර්තා කරයි. වෙඩි තැබූ බවට සැකකරන පුද්ගලයාද මියගියවුන් අතර සිටින බවට විශ්වාස කෙරේ.
ඕරේබ්‍රෝ හි රිස්බර්ග්ස්කා විද්‍යා පරිශ්‍රයේදී මෙම සිද්ධිය වාර්තා විය. ජාතික විභාගයක් අවසන් වී බොහෝ සිසුන් පිටව ගිය පසුව මෙම වෙඩි තැබීම සිදුව ඇත.
වාර්තා වන ආකාරයට සැකකරු ඇතුළු පස් දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඉන් සිව් දෙනෙකු ශල්‍යකර්මවලට භාජනය කර ඇත. එක් අයෙකු බරපතල තුවාල ලබා ඇත. වෙඩි තැබීමෙන් තුවාල නොවූ හයවන පුද්ගලයෙකු සුළු තුවාල සහිතව රෝහල්ගත කර ඇත.
වයස අවුරුදු 20ට වැඩි සිසුන්ට සේවය සපයන රිස්බර්ග්ස්කා පරිශ්‍රය, ප්‍රාථමික හා උසස් ද්විතීයික පාසල් පාඨමාලා, සංක්‍රමණිකයන් සඳහා ස්වීඩන් භාෂා පන්ති, වෘත්තීය පුහුණුව, සහ බුද්ධිමය ආබාධ සහිත පුද්ගලයන් සඳහා වැඩසටහන් පිරිනමයි.
පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙන නමුත් සිද්ධියේ හේතුව තවමත් පැහැදිලි නැති බවට වාර්තා කර තිබේ.
මෙම වෙඩි තැබීමට අදාළ තවත් අය සිටීද යන්න මුලදී සැක කළත් දැන් පොලීසිය විශ්වාස කරන්නේ ප්‍රහාරකයා තනි පුද්ගලයෙකු ලෙස ක්‍රියා කර ඇති බවයි. කෙසේ නමුත් ත්‍රස්තවාදී අභිප්‍රායක් ඇති බවට විශ්වාස නොකෙරේ.
සැකකරු බලධාරීන්ට හෝ සංවිධානාත්මක අපරාධ කල්ලිවලට සම්බන්ධ නොවූ පුද්ගලයෙකු බව පොලීසිය පවසයි.
ගුරුවරයෙකුගේ සාක්ෂියට අනුව, වෙඩි තැබීම් දහයක් පමණ ඇසී ඇත. සිසුන් ඉවත් කරන තුරු පන්ති කාමර තුළ ආරක්ෂාව සලසා ඇත.
අගමැති උල්ෆ් ක්‍රිස්ටර්සන් මහතා මෙය "ස්වීඩන ඉතිහාසයේ සිදුවූ භායනකම සිද්ධි වලින් එකක් ලෙස විස්තර කළ අතර ඉතා වේදනාකාරී දිනයක්" යයි කීවේය." පන්ති කාමරවල සිරව සිටි අයට ඇති වූ බිය ගැනද ඔහු සඳහන් කළේය. එරට යුක්තිය පිළිබඳ අමාත්‍ය ගුන්නාර් ස්ට්‍රොමර් මහතා පැවසුවේ රජය පොලීසිය සමඟ සමීප සම්බන්ධතා පවත්වන බවයි.
පුද්ගලයින් දහයක් පමණ මරණයට පත්ව ඇති මෙම සිද්ධිය ස්වීඩනයේ මෑත ඉතිහාසයේ දරුණුතම පාසල් ප්‍රහාරයක් ලෙස සැලකේ. සිදුවීමෙන් පීඩාවට පත් සියලු දෙනාට රජය සහ සමාජය පුරා සහයෝගය ලැබෙමින් පවතී.
ස්වීඩනයේ පාසල්වල වෙඩි තැබීම් සිදුවීම් දුර්ලභ වුවද, පසුගිය වසරවල වෙනත් ආයුධ භාවිතයෙන් සිදුවීම් වාර්තා වී ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ දිගටම පැවැත්වෙන අතර, වැඩිදුර තොරතුරු අනාවරණය වනු ඇත.

0 Comments