
ඕස්ට්‍රෙලියාවේ බ්‍රිස්බේන් නගරයේ අප්ටවුන් සාප්පු සංකීර්ණයේ ඉහළම මහලේ වාහන නැවතුම්පොළේ 2022 මැද භාගයේ සිට නවතා තබා ඇති නිසාන් මැක්සිමා මෝටර් රථය පිළිබඳව එරට මාධ්‍ය තුළ විශේෂ අවධානය යොමු වී තිබේ. දැනට ලියාපදිංචිය අවලංගු වී ඇති මෙම වාහනය දූවිලි සහ අපිරිසිදු තත්ත්වයෙන් පවතී.
දිනකට ඔස්ට්‍රේලියානු ඩොලර් 68ක වාහන නැවතුම් ගාස්තුවක් අය කෙරෙන මෙම ස්ථානයේ වාහනය නවතා තැබීම වෙනුවෙන් දැනට ඔස්ට්‍රේලියානු ඩොලර් 65,000ක පමණ මුදලක් (LKR 12200000) හිඟව පවතී. කෙසේ වෙතත්, මෙම මුදල කිසිදා අය කර ගත නොහැකි තත්ත්වයක පවතී. වාහනයේ හිමිකරු ඉදිරිපත් වුවහොත් නිදහස් කිරීමේ ගාස්තුවක් අය කළ හැකි නමුත්, මෙතරම් කාලයක් ගතවී ඇති බැවින් එය සිදුවීමේ හැකියාව අවම බව පැහැදිලි වේ.
"මෙය ක්ෂණිකව කළ හැකි ක්‍රියාවලියක් නොවේ," යනුවෙන් අප්ටවුන් සාප්පු සංකීර්ණයේ ප්‍රකාශකවරයෙක් පැවසීය.
"අපි දැන් එම ක්‍රියාවලියේ අවසාන අදියරේ සිටින්නේ. අපගේ ප්‍රමුඛතාවය වන්නේ පාරිභෝගිකයන්ට භාවිතා කිරීම සඳහා එම අවකාශය නිදහස් කර ගැනීමයි." ඔහු කියා තිබේ.
අතහැර දමන ලද වාහන ප්‍රශ්නය එරට පුරා වාහන නැවතුම්පොළවල දක්නට ලැබේ. විශේෂයෙන් ගුවන්තොටුපොළ වාහන නැවතුම්පොළවල මෙම තත්ත්වය නිතර දක්නට ලැබේ. සංචාරකයින් අඩු මිල වාහන අතහැර විදේශගත වීමේ ප්‍රවණතාවය ඉහළ යමින් පවතී.
2023 වසරේ සිට බ්‍රිස්බේන් ගුවන්තොටුපොළේ නවතා තබා ඇති මස්ඩා රථයක් පිළිබඳවද වාර්තාවන අතර The Courier Mail වාර්තා කළ ආකාරයට 2024 වසරේදී බ්‍රිස්බේන් ගුවන්තොටුපොළේ වාහන නැවතුම්පොළවල අතහැර දමා තිබූ වාහන 50ක් පමණ වෙයි.
"සෑම වසරකම සංචාරකයින් විසින් ක්වීන්ස්ලන්තය වටා සංචාරය අවසන් කර, තම වාහන නවතා තබා ගුවන් ගමන් යාමෙන් පසු නැවත නොපැමිණෙන අවස්ථා රැසක් වාර්තා වේ," යැයි බ්‍රිස්බේන් ගුවන්තොටුපොළ ප්‍රකාශකවරයෙක් කියා තිබේ.
"බොහෝ විට මෙම වාහනවල ලියාපදිංචිය කල් ඉකුත්ව ඇති අතර, ඒවා දුර්වල තත්ත්වයේ පවතී. අපගේ වාහන නැවතුම් කණ්ඩායම හිමිකරුවන් සොයා ගැනීමට උපරිම උත්සාහයක් දරයි." ඔහු කීය.

0 Comments