12-year-old-student-stabbed-to-death-by-14-year-old-student-in-birmingham

බ්‍රිතාන්‍යයේ බර්මින්හැම්හි පාසලෙන් නිවසට පැමිණෙමින් සිටි වයස අවුරුදු 12ක පාසල් සිසුවෙකු වන ලියෝ රොස් මාරාන්තික පිහි ඇනුමකට ලක්ව මිය ගොස් ඇති අතර, වයස 14ක පාසල් සිසුවෙකු ඝාතන සැකය මත අත්අඩංගුවට ගෙන තිබේ.
වෙස්ට් මිඩ්ලන්ඩ්ස් පොලීසිය සඳහන් කළේ අඟහරුවාදා සවස  උදරයේ පිහි තුවාල සහිතව සොයාගනු ලැබූ ලියෝ රෝහල් ගත කළ නමුත් එදින සවස ඔහු මිය ගිය බවයි. අත්අඩංගුවට ගත් 14 හැවිරිදි සැකකරු දින දෙකකට පෙර එම ප්රදේශයේදීම වයස්ගත කාන්තාවකට පහර දීමේ සිද්ධියකටද සම්බන්ධ බව පොලීසිය තහවුරු කර ඇත.



ලියෝ අධ්යාපනය ලැබූ ක්රයිස්ට් චර්ච් සී.ඕ.ඊ. ද්විතීයික විද්යාලයේ විධායක විදුහල්පතිනී ඩයන් හෙන්සන් මහත්මිය පැවසූවේ ඔහු "බොහෝ හොඳ මිතුරන් සිටි අතිශයින් ම ආදරය පිරි සක්‍රීය සිසුවෙකු" බවය.

මෙම සිද්ධිය සිදුව ඇත්තේ පාසල් දරුවන් බොහෝ දෙනෙකු නිවසට යාමට කෙටි මගක් ලෙස භාවිතා කරන දුම්රිය මාර්ගය යටින් ඇති වනාන්තර මාර්ගයක සවස 3.40ට පමණය. ප්රදේශවාසීන් පවසන පරිදි පසුගිය මාස කිහිපය තුළ මෙම ප්රදේශය සමාජ විරෝධී ක්‍රියාවලින් පීඩාවට පත්ව තිබේ.

රඳවා සිටින 14 හැවිරිදි දරුවා ඉරිදා දින එම ප්රදේශයේදී අවුරුදු 80ක කාන්තාවකට පහර දීමේ සැකය මතද රඳවා සිටි අයෙකි. ලියෝගේ මරණය සම්බන්ධයෙන් තවත් අත්අඩංගුවට ගැනීම් සිදුවිය හැකි බවට පොලීසිය විවෘත මනසකින් සිටින බව ප්රකාශ කර ඇත.
සිද්ධිය සිදුවූ අවස්ථාවේ ආසන්න පාසල්වල දවස අවසන් වී තිබූ බැවින් එම ප්‍රදේශයේ බොහෝ දෙනෙකු සිටි බව වාර්තා විය.



විමර්ශන නිලධාරීන්ට අනුව ලියෝ සහ ඔහුට පහර දුන් සිසුවා අතර කිසිදු හඳුනාගැනීමක් නොතිබූ බවත්, පලා යාමට උත්සාහ කරන අතරතුර ඔහුට පිහියෙන් ඇනුම් එල්ල වී ඇතිදැයි විමර්ශනය කරමින් සිටින බවත්ය.
දෙදෙනාම පහරදීම සිදුවූ ස්ථානයට ආසන්නයේ පදිංචිව සිටි අය බව විශ්වාස කෙරේ.

පොලීසිය සහ පාසල් ප්‍රජාව දැඩි කම්පනයට පත්කර ඇති මෙම ඛේදවාචකය සමස්ත එක්සත් රාජධානියේම දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ සංවාදයක් ඇති කර තිබේ. මෙම සිද්ධියෙන් පසු තරුණ පිහි අපරාධ වැළැක්වීම සඳහා වඩාත් කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බවට සමාජ ක්‍රියාකාරීන් අවධාරණය කරති.

ලියෝගේ අකාල මරණය සම්බන්ධයෙන් පාසල් ප්‍රජාව, දෙමාපියන් සහ ප්‍රදේශවාසීන් දැඩි ශෝකයට පත්ව සිටින අතර, මෙවැනි සිදුවීම් නැවත ඇති නොවීම සඳහා සාමූහික ප්‍රයත්නයක අවශ්‍යතාව අවධාරණය කරති. පොලීසිය විමර්ශන කටයුතු තවදුරටත් සිදු කරමින් සිටී.
(ද ගාර්ඩියන් වාර්තාව ඇසුරිනි)