sajith-anura-debate
රටේ පවතින ගැටලු සම්බන්ධයෙන් තමන් ඕනෑම පුද්ගලයකු සමග ඕනෑම විවාදයකට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.මේ මොහොත වන විට රටේ ප්‍රශ්න ගැන විවාදයක් අවශ්‍ය බවට සමාජයේ කතාවක් යන බවත් එවැනි විවාදයක් සිදු විය යුතු යැයි තමා පිළිගන්නා බවත් විවාද පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක උසස් ගුණාංගයක් නිසා තමා ඕනෑම විවාදයකට සූදානම් බවත් විපක්ෂ නායකවරයා පැවැසීය.ආර්ථික, සමාජයීය, දේශපාලන, ජාත්‍යන්තර ආදී ඕනෑම ක්ෂේත්‍රයක් ඕනෑම මාතෘකාවක් ගැන වාද විවාද කිරීමට තමා සූදානම් බව ද ඔහු සඳහන් කළේය.




වාද විවාද කිරීම මෙන්ම ඒ හරහා රටටත් ජනතාවටත් අගයක් එකතු විය යුතු බවත් විපක්ෂයේ සිටින කාලය වාද විවාදවලට පමණක් සීමා නොකර ජනතාවට සේවයක් අගයක් ඉටු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.එසේම ඕනෑම වාද විවාදයකට තමා සූදානම්සේම තමා සමග තරගයට රටට සේවය කිරීමට පැමිණෙන ලෙසට ඕනෑම පක්ෂයකට අභියෝග කරමින් සිටින බව ද ඔහු සඳහන් කළේය.

වාද විවාද සේම රටට සංවර්ධනයක් උදා කරන්නත් තමා සූදානම් බවට ප්‍රකාශ කර සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවැසීය.

සක්වළ සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩ සටහනේ 140 වැනි අදියර යටතේ මුලතිව් ඔසුඩාන් මුත්තුඅයියන්කට්ටු වම් ඉවුර පාසලට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කීවේය.
 නිමල කොඩිතුවක්කු