බිරිඳ මියයෑමෙන් පසු සිය බාලවයස්කාර වැඩිමල් දියණිය වසර 05කට අධික කාලයක් තිස්සේ අපයෝජනය කළ, දිවයිනේ පොලිස් ස්ථාන කිහිපයකටම අවශ්‍යව සිටි සැකකරුවෙක් ඊයේ (16දා) අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලීසිය පවසයි.47 හැවිරිදි සැකකරු නුගදණ්ඩ, කලටුවාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මීට වසර හයකට ප්‍රථම ඔහුගේ බිරිද මියගොස් ඇති බවත්, ඉන් ටික කාලයකට පසු එවකට 17වියැති ඔහුගේ වැඩිමල් දියණිය මෙම තැනැත්තා විසින් ලිංගික අපයෝප්නයකට ලක්කර ඇති බව හෙළි වූ බවත්, එතැන් සිට මේ දක්වා ගත වූ වසර පහකට වැඩි කාලය අතරතුර දිගින් දිගටම මෙම තැනැත්තා විසින් ඇය අපයෝජනයට ලක්කර ඇති බවත් විමර්ශනවලදී හෙළිවී ඇත. පසුව ඔහුගේ 12 හැවිරිදි දෙවැනි දියණියවද ඔහු විසින් අපයෝජනයට ලක් කිරීමට උත්සාහ දරා ඇති බවත්,

ඒ බව දැක ඇති වැඩිමල් දියණිය පෙනඩෝල් පානය කර සියදිවි නසා ගැනීමට උත්සාහ දරා ඇති බවත් පවසන පොලීසිය, එම දෙවැනි දියණියට අපයෝජනය කිරීමට තැත්කිරීමේ සිද්ධිය සමිබන්ධයෙන් මෙම පුද්ගලයාට එරෙහිව අවිස්සාවේල්ල අධිකරණයේ විභාග වන නඩුවක්ද පවතින බව සඳහන් කර සිටී.

එතැන් සිට මේ දක්වා සැකකරු පොලීසිය සහ අධිකරණය මගහරිමින් සිට ඇති අතර, අවිස්සාවේල්ල, පාදුක්ක සහ ඉංගිරිය පොලිස් ස්ථාන වලින් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා දිගින් දිගටම උත්සාහ දරා තිබේ.සැකකරුට දාව තවත් දියණියක් සිටින බවත්, උසින් අඩි දෙකක් පමණ වන 22 හැවිරිදි ඇය ආබාධිත තත්ත්වයේ පසුවන බවත්, ඇය රැකබලා ගැනීමට නොහැකි බව පවසමින් සැකකරු විසින් එම දියණිය ඔහුගේ මියගිය බිරිඳගේ සොහොයුරෙකුගේ නිවසට ගෙනවිත් දමාගොස් තිබූ බවත් පොලීසිය පවසා සිටී.



පසුව එම නිවසේ හිමිකරු සැකකරුගේ දියණියත් තිදෙනාම සමගින් ඉංගිරිය පොලීසියට පැමිණ මෙම අවනඩුව ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත චන්ද්‍රලක් මහතාට පවසා ඇති අතර, කරුණු සලකා බැලූ ස්ථානාධිපතිවරයා විසින් අධිකරණ අවසරය පරිදි ආබාධිත දියණිය කළුතර ප්‍රදේශයේ වැඩිහිටි ආබාධිත රැකවරණ මධ්‍යස්ථානයකට භාරදීමට කටයුතු කර තිබේ. පසුව සිදුකළ පුළුල් විමර්ශනයකින් අනතුරුව සැකකාර තිදරු පියා අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව ඇති අතර, සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු දියණියන් තිදෙනා සමඟ එතෙක් පදිංචිව සිටි නිවස රුපියල් ලක්ෂ අටක මුදලකට නුගේගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකුට විකුණා ඇති බවත්, ඉන් රුපියල් ලක්ෂ දෙකක අත්තිකාරම් මුදලක්ද මේ වන විට ලබාගෙන අවසන් බවත් හෙළිව ඇත. දෙමාපිය සරණ මෙන්ම ජීවත්වීමට තිබූ නිවසද අහිමිවූ අනෙක් දියණියත් දෙදෙනාගේ ඉදිරි අනාගත රැකවරණය සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීම කෙරෙහි මේ වන විට ඉංගිරිය පොලීසියේ අවධානය යොමුව ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මකය.
නිමාලි කහවල