sl-ban-cricket

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශය අතර පැවත්වෙන තරග 3 කින් යුත් විස්සයි20 තරගාවලියේ තෙවැනි හා අවසන් විස්සයි20 තරගය හෙට (09දා) බංග්ලාදේශයේ සිලෙත්  ක්‍රීඩාංගණයේදී පැවැත් වේ. තරගාවලියේ තරග එක බැගින් ජය ගෙන කණ්ඩායම් දෙකම මේ වන විට සම තත්ත්වයේ රැඳී සිටියි. මෙම තරගයේ ජයග්‍රහණය කණ්ඩායම් දෙකටම ඉතාම වැදගත් වන්නේ, තරගාවලියේ ජයග්‍රාහකයා තීරණය කරන බැවිනි.

පිතිකරුවන්ට පාරාදීසයක් බඳු වූ සිලෙත් ක්‍රීඩාංගණයේ මේ දක්වා පැවති තරග දෙකේදීම කණ්ඩායම් දෙකේම පිතිකරුවන්ගේ දක්ෂතා කැපී පෙණින. නමුත් පන්දු යවන්නන්ගෙන් විශේෂිත දක්ෂතාවක් දක්නට නොලැබුණු අතර, දෙවැනි තරගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් එය මනාව පැහැදිලි විය.පළමු තරග දෙකේදීම ශ්‍රී ලංකා පන්දු යවන්නන් ප්‍රතිවාදීන්ට ලකුණු 42ක් වැනි විශාල ලකුණු ප්‍රමාණයක් ලබා දී තිබිණ. එහිදී මතීෂ පතිරණ කැපී පෙනෙමින් අතිරේක ලකුණු 22ක් තරගාවලිය පුරාම ලබා දී තිබිණ. තවමත් 21 හැවිරිදි වියේ පසුවන මතීෂ ශ්‍රී ලංකා කණ්ඩායමට අනාගතයේදී දැවැන්ත ආයෝජනයක් බව නොරහසකි.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සිය පන්දු වේගය පැයට කි.මී. 150 ඉක්මවීමට හැකි වේග පන්දුයවන්නන් අතළොස්ස අතර සිටින මතීෂ, සිය පන්දුයැවීම වර්ධනය කර ගැනීමට උනන්දු වන්නෙකි. නමුත් මෙම තරගාවලියේදී ඔහුගේ පන්දුවේ එල්ලයේ යම් දුර්වලතාවක් අපි දුටුවෙමු. එබැවින් තෙවැනි තරගයේදී ඔහුව විවේක ගැන්වීම ඔහුගේ මානසිකත්වයටද යම් යහපතක් වනු ඇත.

තරග තහනමකට ලක්වීම නිසා බංග්ලාදේශය සමගින් පළමු තරග දෙකට සහභාගි නොවූ ශ්‍රී ලංකා නිත්‍ය නායක වනිඳු හසරංග තෙවැනි තරගයට සහභාගි වීමට නියමිතව ඇත. එබැවින් ඔහු බොහෝ විට මතීෂ වෙනුවට කණ්ඩායමේ ස්ථානය වෙන් කරගනු ඇත. පන්දුයවන්නෙකු ලෙස මෙන්ම ප්‍රවේගකාරී  පිතිකරුවෙකු ලෙසින්ද ඔහුගේ සේවය කණ්ඩායමට මීළඟ තරගයේදී වැදගත් වනු ඇත.ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ දුර්වලතාව වන්නේ, ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දුයි. එක්දින තරගවලදී යම් ප්‍රගතියක් පෙන්වුවද, අවිශ්ක විස්සයි 20 පිටියේ පිත්තෙන් පෙන්වූ දක්ෂතා ඇත්තේ ඉතාම අවම මට්ටමකය. විශේෂඥ පිතිකරුවෙකු ලෙස කණ්ඩායමේ සිටින අවිශ්ක ලැබුණු අවස්ථාවෙන්ද ප්‍රයෝජන ලබාගැනීමට අසමත් වීම නිසා, ත

ෙවැනි තරගයේදී ඔහු වෙනුවට නිරෝෂන් දික්වැල්ල කණ්ඩායමේ ආරම්භක පිතිකරණයට යෙදවීම යෝග්‍ය යැයි අප විශ්වාස කරන්නෙමු.

තරගයේ අනෙක් වැදගත්ම කාරණය කාසියේ වාසියයි. සිල්හෙට් ක්‍රීඩාංගණයේ මේ දක්වා පැවති විස්සයි20 තරග 12කින් 9කදීම ලකුණු හඹා ගිය කණ්ඩායමට ජයග්‍රහණය හිමි වී ඇත.එබැවින් මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළහොත් මුලින් පන්දු රැකීම වඩාත් යෝග්‍ය වනු ඇත.අවසන් වශයෙන් කීමට ඇත්තේ මෙම තරගය විස්සයි20 ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකාව සහභාගි වන අවසන් විස්සයි20 තරගය වේ. එබැවින් ලෝක කුසලානයට ජයග්‍රාහී මානසිකත්වයකින් පිවිසීමට මෙම තරගයේ ප්‍රතිඵලය විශාල බලපෑමක් සිදුකරයි.
ශ්‍රී ලංකාව මෙම වර්ෂයේදී මුහුණදුන් ටෙස්ට් හා එක්දින තරගවලට සාපේක්ෂව විස්සයි 20 අංශයේ දක්ෂතා තරමක් පහළ මට්ටමක පවතී. එබැවින් එම අඩුව යම් හෙයකින් හෝ පිරිමසා ගැනීමට මෙම තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට අතිශයින් වැදගත් වේ.


ඕෂිත වරකපිටිය