maithripala-speaks

ජාතික ජන බලවේගයේ උත්සාහය ප්‍රජාතන්ත්‍රවාදයේ මුවාවෙන් බලයට පැමිණ විප්ලවීය ආණ්ඩුවක් ඇති කිරීම බවත්, ජනතා විමුක්ති පෙරමුණට බයේ නොසිට ඇත්ත කතා කළ යුතු බවත්, ඇත්ත කීම නිසා තමාට යම් හානියක් කරනවා නම් එයටද කැමති බවත් පක්ෂය ජයග්‍රහණය කරවීම සඳහා එයම ප්‍රමාණවත් බවත් හිටපු ජනාධිපති, පා.ම. මෛත්‍රීපාල සිරිසේන මහතා මීරිගම දී ඊයේ (24දා) පැවසීය.



හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මීරිගම ආසන බල මණ්ඩලය කල්එලිය , මල්ලැහැවදී ආසන සංවිධායක  ආචාර්ය ශාන්ත ගීතදේව මහතාගේ සංවිධානයෙන් ඊයේ(24දා) පස්වරුවේ පැවැත්වූ ජනහමුවේදී අදහස් දක්වමිනි. හිටපු ජනාධිපතිවරයා මෙසේද කීය. "ප්‍රජාතන්ත්‍රවාදී මුවාවෙන් බලයට ඇවිත් විප්ලවීය ආණ්ඩුවක් හදන්න ජාතික ජන බලවේගය සැරසෙනවා. විප්ලවීය ආණ්ඩුවක තීන්දු ගන්නේ දේශපාලන බල මණ්ඩලය පමණයි. මිනිස්සු මරන්න බැංකු කඩන්න, ට්‍රාස්පෝමර් ගිනි තියන්න පක්ෂයක් විදියට තීන්දු තීරණ ගත්තේ ඒ අය විතරයි.

ඒ නිසා ඔවුන් හරිහැටි අඳුනා ගන්න.

කිසිවිටෙක ජනතා විමුක්ති පෙරමුණට බය වෙලා ඉන්න එපා. හැමෝම එකතු වෙලා ඔවුන්ට විරුද්ධව කතා කරන්න. හැත්තෑ එකේ, අසූඅටේ,අසූ නවය හින්දා බය ඇතිවෙලා තියෙනවා. බය නැතුව ඇත්ත කතා කරන්න. ඇත්ත කතා කරලා මට හරි හානියක් කරනවා නම් මම ඒකටත් කැමතියි. ඒකම ඇති පක්ෂය ජයග්‍රහණය සිදුවෙන්න. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගල් ගහනවා. නින්දා අපහාස කරන අය වැඩියි. සමහර මාධ්‍යත් මඬ ගහනවා.අපේ පක්ෂය දුර්වල වුණේ ඇමැතිවරු හැට නවය ආණ්ඩුවට ගිය හින්දයි . ඇමතිකම් අරගෙන කළ පාවාදීම් නිසයි.රැජින රට කරයි රට පාලනය නොකරයි යන කියමනේ කිව්ව වගේ තනතුරු නැතත් රට පාලනය කරන උදවියත් කවුද කියලා දන්නවා නේද .සන්ධාන ආණ්ඩුවක් හදන්න සියලු සැලසුම් නිර්මාණය කරලා ඉවරයි”.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන ලේකම් භාරතී දුෂ්මන්ත මිත්‍රපාල, උපලේකම් සජින් වාස් ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක, රාජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න, ගම්පහ දිස්ත්‍රික් සංවිධායක නීතිඥ රවින්දන කුරුප්පු යන මහත්වරු ඇතුළු ජ්‍යෙෂ්ඨයෝ රැසක් එක්ව සිටියහ.