
පාකිස්තාන ජනාධිපති ධුරය, අසීෆ් අලී සර්දාරිට හිමිවී තිබේ. එරට ජනපතිවරණයක් නොමැති අතර සර්දාරි ජනාධිපති ධුරයට තෝරා ගැනීම සිදුවූයේ පාර්ලිමේන්තු ඡන්දයෙනි.
එසේ සිදුවෙද්දී, ‘ජනාධිපති ආර්යාව’ ලෙස සර්දාරිගේ දියණිය අසීෆා බූතෝ නම් කිරීමට තීරණය කර ඇත. අසීෆ් අලී සර්දාරි යනු ඝාතනයට ලක්වූ හිටපු අග්‍රාමාත්‍යවරිය බෙනාසීර් බූතෝගේ සැමියාය.
සර්දාරිට පුතෙක් සහ දියණියෝ දෙදෙනෙක් සිටිති. අනෙක් දියණිය භක්තවාර් බූතෝය. 31 හැවිරිදි අසීෆා බූතෝ බාල දියණියයි.පසුගිය පාකිස්තාන මහ මැතිවරණයෙන් පාකිස්තාන ජනතා පක්ෂය මෙහෙයවූ බිලාවිල් බූතෝ සර්දාරිගේ පුත්‍රයාය. පාකිස්තානයේ ජනාධිපති ආර්යාව යනු නිල නොවන ධුරයකි. එම ධුරය පිරිනැමෙන්නේ සම්ප්‍රදායට අනුවය. පාකිස්තාන ජනාධිපති ආර්යාවට බලතල කිසිවක්ද නොමැත.
අසීෆ් අලී සර්දාරි වැන්දඹු පුරුෂයකු බැවින් ‘ජනාධිපති ආර්යාව' යන නමින් අසීෆා නම් කිරීමට සැමගේ කැමැත්ත හිමිවිය.
ජනාධිපති ආර්යාව' ලෙස ජනාධිපති ධුරයට පත් අයකුගේ දියණියක නම් කෙරුණු ලොව පළමු අවස්ථාව ලෙස මෙයයි.බෙනාසීර් බූතෝ ඝාතනය සිදු වූයේ 2007 වසරේදීය. 68 හැවිරිදි අසීෆ් අලී සර්දාරි පාකිස්තානයේ 14 වැනි ජනාධිපතිවරයාය. ඔහු මීට පෙර 2008 සිට 2013 දක්වා කාලයේදී පාකිස්තාන ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය.
