trump-arrest-tuesday

හිටපු ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන අඟහරුවාදා (21) අත්අඩංගුවට ගැනීමට ඉඩ තිබෙන බව ඔහු විසින්ම ප්‍රවෘත්තියක් පළ කර තිබේ.
අත්අඩංගුවට ගන්නට යන හේතුව ලෙස සටහන් වන්නේ නිල් චිත්‍රපට නිළියක සමග ට්‍රම්ප් පැවැත්වූ ඇසුරක් පිලිබඳ ආරංචිය ඔහුගේ පැවති ජනපතිවරණ ඡන්ද ප්‍රචාරණයට අවාසියක් වූ නිසා එය සඟවන්නට ඒ දිනවල ට්‍රම්ප් මුදල් ගෙවා අල්ලසක් ලබාදීමේ සිද්ධියයි. එය අපරාධ වරදක් ලෙස ඇමරිකානු නීතිය අනුව සලකන අතර ඔහුට අධිචෝදනා ගොනු කළහොත් එය හිටපු ඇමරිකානු ජනාධිපතිවරයෙකුට එරෙහිව පනවා ඇති පළමු අපරාධ නඩුව වනු ඇත.

ඇමරිකාවේ නිල් චිත්‍රපට නිළියක ලෙස ප්‍රකට නමක් දිනූ  ස්ටෝර්මි ඩැනියෙල්ස් ජනපති ට්‍රම්ප් සමග අවස්ථා ගණනාවකදී යහන් ගතවූ බවට කටකතා පැතිරුනේ ට්‍රම්ප් ජනපති ධූරයට තරග වදින වකවානුවේයි.
ඒ දිනවල ඇගේ අත්සන යෙදූ ප්‍රකාශයක් අන්තර්ජාලය පුරා පළව තිබුනේ ඇය එවැනි සබඳතාවයක් ට්‍රම්ප් සමග නොපැවැත්වූ බව කියමිනි.

නමුත් මෙම සංසිද්ධිය නැවතත් කරළියට ගැනීමට ඇමරිකාවේ ප්‍රකට රූපවාහිනී වැඩසටහනක් වන  “Jimmy Kimmel Live” කටයුතු කළේ එම වැඩසටහනට  ස්ටෝර්මි ඩැනියෙල්ස් සහභාගී කරගනිමිනි.
එහිදී ඇය ට්‍රම්ප් සමග එකට සිටියා යන්න ප්‍රතික්ෂේප කර ප්‍රකාශයක් කළාද යන්න විමසීමේදී ඇය නෑ කීවාය.

එසේ නම් ඔහු සමග එක්වුණාද කියා විමසූවිට නිහඩවූ අතර එයින් ඇය එය පිළිගත් බවත් ඇමරිකානු මාධ්‍ය පසුව වාර්තා කරන ලදි.
මෙම සම්බන්ධය ගැන තොරතුරු   යට ගැසීමට ඇයට ජනපතිවරණ සමයේ විශාල මුදලක් නීතීඥවරියක මාර්ගයෙන් ලබාදී තිබුණ බව වෝල් ස්ට්‍රිට් ජර්නල් පුවත්පත තහවුරු කර තිබුණි.
මෙම සංසිද්ධිය නැවත කරළියට එන්නේ ඊළඟ ඇමරිකානු ජනපතිවරණයට ට්‍රම්ප් ඉදිරිපත්වන්නට උත්සාහ දරන පසුබිමකය.

ඩොනල්ඩ් ට්‍රම්ප් අඟහරුවාදා අත්අඩංගුවට ගැනීමට යන ආරංචිය කිසිම තැනක නිල වශයෙන් ප්‍රසිද්ධ කර නැත.  සෙනසුරාදා ට්‍රම්ප් මහතා සිය සමාජ ජාල වෙබ් අඩවිය වන Truth Social හි  මේ ගැන මුල්ම හෙලිදරව්ව කර තිබුණි.
‘ Manhattan දිස්ත්‍රික් නීතිපති කාර්යාලයෙන් "නීතිවිරෝධී කාන්දුවීම්" ලැබුණා.. අඟහරුවාදා මාව අත්අඩංගුවට ගන්නා බව "පෙන්වයි". ඔහු එහි ලියා තිබුණි.
දිස්ත්‍රික් නීතීඥ කාර්යාලය තවමත් මේ ගැන අදහස් දක්වා නැත. ට්‍රම්ප්ගේ නීතීඥ සුසාන් නෙචෙල්ස් පැවසුවේ තම කණ්ඩායම නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ගෙන් කිසිවක් අසා නැති බවයි. හිටපු ජනාධිපතිවරයා අල්ලන්නට යන කතා මාධ්‍ය වාර්තා මත පදනම් වූවක් බවද ඔහු කීය.

76 හැවිරිදි ට්‍රම්ප්ට තවමත් කිසිදු චෝදනාවක් ඔප්පුවී නොමැති අයෙකි. 2024 ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් අපේක්ෂකයා බවට පත්වීම සඳහා ඔහුගේ ව්‍යාපාරය දිගටම කරගෙන යාමට ට්‍රම්ප් මහතා ප්‍රතිඥා දී ඇත.
දෝෂාභියෝග නඩු විභාග දෙකක්, රුසියාවේ විමර්ශනය සහ Mar-a-Lago වැටලීම ඇතුළුව චෝදනා කිහිපයක් ඔහුට එරෙහිව එල්ලවුවත් ඒවා ඔහුව ජනප්‍රිය කරවීමට හේතුවූ කරුණ මිස වෙනකක් නොවන බව විචාරකයින් පෙන්වාදී තිබේ.

ට්‍රම්ප් මහතාට පක්ෂපාතී අනුගාමිකයින්ගේ පදනමක් සිටීමත් විරෝධතා දැක්වීම සඳහා ආධාරකරුවන් පහසුවෙන් එක්රැස්වීමත් නිසා 2021 ජනවාරි 6 වන දින එක්සත් ජනපද කැපිටල්ගාඩනැගිල්ලේ ගැටලුකාරී තත්වයන් මතුවිය.  ඉක්මනින් ප්‍රචණ්ඩත්වය දක්වා වර්ධනය විය.
හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමක් ගැන පුරෝකථනය කිරීමත්, මහජන විරෝධතා කැඳවීමක් ලෙස විවේචනයට බඳුන්ව ඇත.