semini-iddamalgoda-speaks

පසුගිය දිනවල නිමාව දුටු ‘එයා දැන් බැඳලා‘ ටෙලි නාටකයේ  ප්‍රධාන චරිතය නිරූපණය කළ සේමිණි ඉද්දමල්ගොඩ එහි කළ රංගනය සුවිශේෂී එකක් විය. ගණිකාවක ලෙස සිටි කාන්තාවක පසුව විවාහ ජීවිතයකට එළැඹීමේදී පිරිමි සමාජයෙන් එල්ලවන විවිධ පීඩාකාරී තත්වයන් හා අවසන ඇයට දරුවෙකුද ලද පසු සමාජයේ ගැරහුම් හා ස්වාමියාගේ සැකයට බඳුන්වීම ආදී විවිධ තත්වන් ගැන ගැඹුරු කථිකාවක් මෙම නාට්‍යය හරහා කියැවිණි.
සතිඅන්ත පුවත්පතක් සමග සේමිණි ඒ ගැන මෙසේ අදහස් පළ කළාය.

‘මෙතරම් ප්‍රතිචාරයක් ලැබෙයි කියලා හීනෙකින්වත් හිතුවේ නැහැ. මිනිසුන් මෙම ටෙලි නාට්‍යය වැලඳ ගනී කියලා විශ්වාසයක් තිබුණත් හොඳටම බැණුම් අහන්න සිද්ධ වෙයි කියලා පුංචි බයකුත් හිත් කොනක තිබුණා.

රූපවාහිනිය තුළ මින් පෙර මෙවැනි මාතෘකා ගැන කතා කරලා තිබුණෙ නැහැ. අපේ සමාජයේ ලිංගිකත්වය දකින්නේ අසභ්‍ය දෙයක් විදියටයි. එවැනි සංස්කෘතික රටක ස්ත්‍රී දූෂකයන් දවසින් දෙකෙන් නිදහස් කරන විට නිහඬව සිටීම හරිම පුදුමයි. එකී කොටුවූ හා ගතානුගතික අදහස් නිසා බැණුම් වැස්සක තෙමෙන්න වුණත් හිත හදාගෙනයි මම මේ චරිතය භාරගත්තේ.

ඇත්තටම සුද්දිට බැණුම් අහන්න සිද්ධ වුනේ නැහැ මිනිස්සු සුද්දිව ආදරයෙන් වැලඳ ගත්තා. ත්‍රීවිල් පාක් එකේ අයියලා, මල්ලිලා ඔවුන්ගේම කෙනෙක් විදියට මට දැන් සලකනවා. ඒ වගේම බොහොමයක් දෙනා මට දැන් කතා කරන්නේ සුද්දි කියලයි. ඒ මිනිසුන්ගේ ආදරය නිසා මම මේ දවස්වල ඉන්නේ ගොඩක් සතුටින්.

“එයා දැන් බැඳලා“ කියන්නේ 28 චිත්‍රපටයෙහි දිගුවක්. 28 චිත්‍රපටයේ මම මළමිනියක් ලෙස සිට “අපට පාසලේ උගන්වලා නැහැ. ලිංගික අධ්‍යාපනය දීලා නැහැ“ කියලා කියනවා. එකී දෙබස් එම නාට්‍යයෙහි සුද්දි තුළින් හොඳින් විද්‍යමාන වෙනවා. “මගේ හැම කුණුහරුපයක්ම දැකලයි සිරි මට කැමති වුණේ“ කියන දෙබස එයා දැන් බැඳලා ටෙලිනාට්‍යය තුළ වගේම 28 චිත්‍රපටිය තුළත් තියෙනවා. 28 චිත්‍රපටයේ දී ප්‍රේක්ෂකයා මැවූ රූපරාමු එයා දැන් බැඳලා ටෙලි නාට්‍යයෙන් දිගහැරලා ප්‍රේක්ෂකයාගේ ඇස් ඉස්සරහට ගෙන ඒමට අධ්‍යක්ෂකවරයා උත්සාහ දරනවා.



කලා ක්ෂේත්‍රයේ මුල් පියවර තැබීමට මට ශ්‍රියානි අමරසේන යන්ගෙන් සුවිශාල සහායක් ලැබුණා. ඇය නිසයි මම කලා ක්ෂේත්‍රයට පිවිසුණේ. ඇය මගේ ඡායාරූපයක් දැකලා ඇගේ තරුණ අවධියේ හැඩහුරුකම්වලට මම බෙහෙවින් සමීප නිසා ඇයගේ තරුණ කාලයේ චරිතයට මම සුදුසුයි කියා තීරණය කර, මට එයට ආරාධනා කරනවා. එතකොට මට රඟපාන්න පුළුවන් ද කියලවත් ඇය දැන සිටියේ නැහැ. ඔවුන් මාව ඒ චරිතයට තෝරා ගත්තේ මම ශ්‍රියානි අක්කගෙ රූපයට සමාන නිසා විතරයි. නමුත් මම එයට රංගනයෙන් සාධාරණයක් කළා යැයි මම විස්වාස කරනවා.‘

සාකච්ඡා සටහන - විශ්මි ප්‍රනාන්දු