roshan-ranasinghe-speaks

මෙරට ක්‍රීඩාවට සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පහසුකම් ලබා නොදෙන ජාතික ක්‍රීඩා සංගම්  සහ සම්මේලන තහනම් කරන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.  අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ ආසියානු ක්‍රීඩා උළෙල සඳහා උසස් දක්ෂතා මධ්‍යස්ථානයේ නේවාසිකව පුහුණුවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ගැටලුවලට පිළිතුරු ලබාදෙමිනි. එමෙන්ම එළඹෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේදී  කණ්ඩායම් ක්‍රීඩා 03ක් සහ  තනි ඉසව් ක්‍රීඩා 14ක් ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී කරවීමට දැනට තීරණය කර ඇති බව අමාත්‍යවරයා මෙහිදී මාධ්‍ය අමතමින් පවසා සිටියේය. මෙම මාධ්‍ය හමුව ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී ඊයේ (21දා) පැවැත්විණි.

ලබන ඔක්තෝබර් මස චීනයේදී පැවැත්වෙන එම තරගාවලිය සඳහා සහභාගී කරවන අවසන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සංචිතය තවත් සති 02කින් පමණ ප්‍රකාශයට පත් කිර්මට නියමිතය. ක්‍රීඩා අමාත්‍යාංශය, ජාතික ක්‍රීඩා සභාව සහ ඔලිම්පික් කමිටුවේ අධීක්ෂණය මත එම කණ්ඩායම ප්‍රකාශයට පත්කරන බව අමාත්‍යවරයා පැවසීය.

මෙම හමුවට මෙරට ජාතික තලය නියෝජනය කරන බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ එක්ව සිටි අතරට, බැඩ්මින්ටන්, ස්කොෂ්, බර ඉසිලීම, රෙස්ටිං සහ පැරා ක්‍රීඩා නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩ්කාවෝ ඔවුනගේ ප්‍රශ්න අමාත්‍යවරයා වෙත යොමු කළහ. මෙහිදී විශේෂයෙන් බැඩ්මින්ටන් යුගල මිශ්‍ර තරග සඳහා වෙනම විදෙස් ජාතික පුහුණුකරුවෙක් පත්කිර්ම, ස්කොෂ් සහ බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ශ්‍රේණිගත තරගාවලි ලබාදීම යන ප්‍රශ්නවලට සතියක් ඇතුළතදී සාකච්ඡා කර පිළිතුරක් ලබාදෙන බව අමාත්‍යවරයා පැවසීය.

මීට අමතරව පසුගිය පොදුරාජ්‍ය මණ්ඩලයීය තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක බර ඉසිලීමේ ක්‍රීඩක ඉන්දික දිසානායක සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පොදු ප්‍රශ්න වූ විදෙස් තරගාවලි ලබානොදීම, පහසුකම් කප්පාදුව සහ අනුග්‍රාහක දීමනා සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් අමාත්‍යවරයාට කරුණු දැක්වූ අතර, එහිදී තීරණය වූයේ එම ගැටලු සාකච්ඡා කිරීමට අදාළ සංගම්වල නිලධාරින්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ අමාත්‍යාංශ බලධාර්න් එක මේසයකට කැඳවා විසඳුම් ලබාදෙන බවයි. මීට අමතරව මාස හතරක පමණ කාලයක සිට එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අමාත්‍යාංශයෙන් පොරොන්දු වූ ආහාර සහ දීමනා නොලැබෙන බවද ක්‍රීඩක ක්‍රීඩිකාවෝ චෝදනා මුඛයෙන් සඳහන් කර සිටි අතර, ඒ සඳහා අවශ්‍ය මුදල් ක්‍රීඩා සංවර්ධන අරමුදලෙන් ලබාගැනීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලන ලෙස ක්‍රීඩා ඇමැතිවරයා විසින් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරල්වරයා වෙත දැනුම් දෙන ලදී.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙතරම් අපහසුතාවන්ට ලක් වීමට ප්‍රධාන හේතුව ක්‍රීඩා සංගම්වල තිබෙන කාර්යක්ෂමතාව බවත් තමන්ට කළ හැකි වනුයේ ක්‍රීඩා සංගම් නියාමනය කිරීම පමණක් බවත් ක්‍රීඩා ඇමැතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.  ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ප්‍රශ්න සාකච්ඡා කිරීම සඳහා ජාතික ක්‍රීඩා සභාව හමුවට පැමිණෙන ලෙස ඔවුන්ට දැනුම් දී තිබුණද එම සංගම් අතරින් මේ දක්වා ජාතික ක්‍රීඩා සභාව හමුවට පැමිණ ඇත්තේ අතේ ඇඟිලි ගණනට සමාන ක්‍රීඩා සංගම් කිහිපයක් බවත් ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කර සිටියේය. රග්බි ක්‍රීඩාව සහ පාපන්දු ක්‍රීඩාව රැක ගැනීම පිණිස අමාත්‍යාංශයක් ලෙස හැකි පමණින් කටයුතු කරමින් සිටින බවද එහෙත් අමාත්‍යාංශයට දොස් පවරමින් හිටපු පරිපාලකයන් කටයුතු කරමින් සිටීම  කනගාටුවට කරුණක් බවද ඇමතිවරයා පවසා සිටියේය.



තමන්ට අවශ්‍ය පරිදි ක්‍රීඩා සංගම් පරිපාලනය කරන ඇතැම් පරිපාලකයෝ රටේ නීතියට එරෙහිව වැඩ කරද්දි ඔවුන්ට එරෙහිව කටයුතු කිරීමට යෑමේදී දේශපාලන බලපෑම් යැයි කියමින් ජාත්‍යන්තරය හමුවට යෑමෙන් ක්‍රීඩාවට විශාල හානියක් සිදු වී ඇති බවද ක්‍රීඩා අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ජාතික ක්‍රීඩා සංගම් හා සම්මේලනවල කාර්යභාරයන් නිසි ලෙස ඉටු නොවන අවස්ථාවලදී ක්‍රීඩකයන් ඉතා අසරණ තත්ත්වයට පත්වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා නිසි ලෙස ක්‍රීඩා සංගම් හා සම්මේලන ක්‍රියා නොකරයි නම්, සාකච්ඡා සඳහා නොපැමිණෙන්නේ නම් ලිඛිතව තුන් වතාවක් ඔවුනට දැනුම් දී ඔවුන් තහනම් කිරීමට කටයුතු කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

"මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කර උසස් දක්ෂතා සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා පසුගිය මාස හතරේ ලබාදීමට ඇති දීමනාව ලබාදෙන්න කටයුතු කරනවා. මින් ඉදිරියට එය අඛණ්ඩව ලබාදෙන්න අපි කටයුතු කරනවා, පුහුණු කටයුතු අඛණ්ඩව කරගෙන යන්න. අඩුපාඩු තිබෙනවා නම් ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිතුමා දැනුම්වත් කරන්න. ඉදිරියේදී සංගමයේ නිලධාර්න් හා ක්‍රීඩකයන් සමග අපි සාකච්ඡා කරන්න සූදානම්, එම සාකච්ඡාවෙන් අනතුරුව කඩිනමින් විසඳුම් සහ යෝජනා සම්බන්ධයෙන් අපි ක්‍රියාත්මක වෙන්න සූදානම්. එම යෝජනා සංගමයෙන් අපිට ලබාදෙන්නේ නැතිනම්, අපිත් සමග සාකච්ඡා කරන්නේ නැතිනම් අපිට විතරක් මේ පිළිබඳව චෝදනා කරන්න එපා.

එලෙස ප්‍රශ්න සහගත සංගම් සම්බන්ධයෙන් අපි නීත්‍යනුකුලව කටයුතු කරනවා” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය. මෙම හමුවට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරීය, ජාතික ක්‍රීඩා තේම් කමිටුවේ ලේකම් අර්ජුන් ප්‍රනාන්දු, ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයන් වන විශේෂඥ වෛද්‍ය මයියා ගුණසේකර, විශ්‍රාමික ජෙනරල් රජිත අම්පේමොහොට්ටි, ක්‍රීඩා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) දීපාල් සිරිබද්දන යන මහත්වරු සහභාගී වූහ.
පැතූම් ශ්‍රී විජේරත්න