
ගැහැනියගේ මොළය හැඳි මිටේ දිගයි කීවාට මායම් 64න් එකක් යොදා සොරකු අල්ලා ගැනීමේ සිද්ධියක් ගාල්ල පොලිසියේ විවිධ පැමිණිලි අංශයේදී දැකගත හැකිවිය. ඇය වඳුරඹ ලේලවල ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදී කාන්තාවකි. ස්ථිර රැකියාවක් නොතිබුණු ඇය රෝගීන්ගේ සාත්තුවට ළඟ සිට කිසියම් මුදලක් උපයා ගත්තාය. පසුගිය කාලයේ ඇය ගාල්ල නගරය ආසන්නයේ නිවසක රෝගී කාන්තාවක බලා ගත්තාය. මේ අතර නිවෙස් හිමියා නිවසේ වැඩට තවත් පිරිමියකු ගෙන්වා ගත්තේය.
මාකොළ ප්‍රදේශයේ පදිංචි ඔහු 50 හැවිරිදි වියේ පසුවිය. ඔහුද කඩිසරව නිවසේ වැඩ කටයුතු කළේය. ටික දිනකින් රෝගී කාන්තාවගේ සාත්තුවට සිටි කාන්තාව සහ ඔහු අතර අනියම් සම්බන්ධයක්ද ඇති විය. මේ නිසා ඔහු ඉල්ලන ඕනෑම දෙයක් දීමට තරම් ඇය පරිත්‍යාගශීලී වූවාය.මේ අතර පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දිනෙක තම බිරිඳට මගුල් ගෙදරකට යාමට බව පවසා ඔහු ඇයගේ මාලය මුද්ද සහ රුපියල් හැට දහසක්ද ඉල්ලාගෙන ගියේය. ඇයද ඒවා දුන්නේ ඉතා කැමැත්තෙනි. එහෙත් ඇයට ඒවා ආපසු ලැබුණේ නැතිවා සේම ඔහු ඇය ලබා දෙන ඇමතුම් වලට උත්තර දුන්නේද නැත. සියලු බලාපොරොත්තු සුන්වූ ඇය අවසානයේ පොලිසියේ පැමිණිල්ලක් දැම්මාය.
ඒ අනුව පොලිසිය ඔහුගේ ලිපිනය සොයා ගියද ඔහු එහි නොවීය.
එහෙත් ඇය එතැනින් නතරවූයේ නැත. වෙනත් කාන්තාවක් ලවා ඔහුට දුරකතනයෙන් කතාකර සම්බන්ධයක් ඇති කර ගැනීමට සැලැස්වූවාය. එම කාන්තාවද එය මැනවින් ඉටු කළාය. ගාල්ල ආයුර්වේද රෝහලේ රෝගියකු බලා ගැනීමට පැමිණෙන ලෙස එම කාන්තාව විසින් කරන ලද ඉල්ලීම අනුව ඔහු පැමිණියේය. එහෙත් ඔහුට සිදු වූයේ රෝගියා බලා ගැනීමට රෝහලට යාමට නොව ගාල්ල පොලිසියට යාමටය.
ඩී.පී. සුගතපාල
Comments
Post a Comment
Your comment will be visible after approval