musical-show-tactik

ලංකාවේ නම්දරා සිටි ගායකයෙකු සම්බන්ධ දශක කිහිපයකට පෙර වාර්තාවූ සත්‍ය සිදුවීමක් මේ කතාවෙන් කියැවෙයි. තාක්ෂණය අද තරම් නොදියුණු එදා ජංගම දුරකථන නොතිබුණ අතර ගෘහස්ථ දුරකථන ‍සන්නිවේදන හැකියාව තිබුනේද සීමිත පිරිසකටය. බොහෝ වැඩ සිද්ධවූයේ තැපෑලෙනි.
එක්තරා වසරක ඔක්තෝබර් මාසයේදී ඊළඟ වසරේ පැවැත්වෙන සිංහල අවුරුදු සංගීත ප්‍රසංගයකට ආරාධනා කිරීමට සංගීත සංදර්ශන සංවිධාන කරන පිරිසක් මෙම ගායකයා සොයාගෙන පැමිණ තිබුනේ අනුරාධපුරයේ සිටයි.

"අපි අනුරාධපුරයේ තව මාස 6 කින් විතර පස්සේ ලබන සිංහල අවුරුදු සංගීත සංදර්ශනයට අයියට ආරාධනා කරන්නයි ආවේ'



‘ඉතිං මල්ලි තව මාස හයක්  විතර තියනවනේ ඇයි මේ තරම් කාල වේලාව ඇතුව "

‘අපිට පහුගිය අවුරුදු දෙක තුනේම අන්තිම මොහොතේ ඇවිල්ල අයියව වෙන් කරවා ගන්න බැරිවුණානේ..ඒකයි මේ කල් තියාම ආවේ..මේ පාරනම් නොවැරදීම ගෙන්න ගන්න ඕන නිසා‘

‘ඇත්තද මල්ලී..ඒක හොඳයි.. හැබැයි මං ඔය දුර ගමන් වලට එන්නෙ බොහොම අඩුවෙන්.. මොකද සීසන් එකට වැඩ ගොඩක් එනවනෙ.. දුර ගමනක් ගියොත් අනෙක් වැඩ වලින් ලැබෙන ගාණ මට නැතිව යනවා..‘
‘ඔව් අයියෙ අපි ඒක දන්නවා.. කමක් නැහැ අපි කියන ගාණක් දෙන්නම්.. අපිට අයියව කෝම හරි ගෙන්න ගන්නයි ඕන‘

 අත්තිකාරම් වශයෙන් හොඳ මුදලක් ලබාගත හැකි යයි පෙන්නුම් කළ අවස්ථාවේ සාක්කුව හිස් වී තිබුණ නිසා අනුරාධපුරයේ එන සිංහල අවුරුද්දට පැවැත්වීමට නියමිත සංගීත සංදර්ශනය වෙනුවෙන් එකඟතාව පළකළ ගායකයා
"මල්ලිලා ඉතිං මෙච්චර කල්වේලා ඇතුව දුර බැහැර ඉඳලත් ඇවිදින් මට ආපසු හිස් අතින් යවන්න හිත දෙන්නේ නැහැ... මෙහෙ තියෙන ෂෝස් දෙක තුනක් නැති කරගෙන හරි මං එන්නම් ..ටිකක් ගාණ නම් වැඩිවෙයි‘


අයියේ ගාණ ප්‍රශ්නයක් කරගන්න එපා කියූ පිරිස ගායකයා අපේක්ෂා නොකළ තරමේ මුදලක් ගෙවා ගායකයාගේ දින පොතේද ඔහුට එන වසරේ අප්‍රේල් මස අසවල් දිනයේ අනුරාධපුරයේ සංදර්ශනයක් ඇති බව සටහන් තබන තුරු බලා සිට අවසරගෙන පිටත්වූයේ නැවත මතක්කිරීමක් අවශ්‍ය නැතැයිද ගායකයා පොරොන්දුවූ පසුවය.

මේ අතර සිංහල අවුරුද්ද කිට්ටුව නම් දැරූ ගායකයා සොයාගෙන තවත් සංවිධායකවරුන් විශාල පිරිසක් පැමිණ විවිධ ප්‍රසංග සඳහා ඔහු එකගකරගත් අතර ඒ බොහෝ ඒවාට ගායකයා අනුමැතිය දුන් අතර අනුරාධපුර යාමට යොදාගත් දිනයද තවත් ප්‍රසංග දෙකතුනක් වෙනුවෙන් වෙන් කළේය. බොහෝ විට මුදල් මුල් කරගෙන තීරණ ගත් ගායකයා එය වරදක් ලෙස නොසැලකූ අතර ගැළවෙන්නට උපායක්ද කලින්ම යෙදුවේය.
අප්‍රේල් දොළොස් වැනිදා ඔහු තම මිතුරකු උදේ පාන්දරම බස් රථයකින් අනුරාධපුරයට පිටත් කර යවා දහවල් දොළහට පෙර අනුරාධපුර තැපැල් හලකින් "ගායකයාණෙනි ඔබට ආරාධනා කළ සංගීත ප්‍රසංගය දින නියමයක් නොමැතිව කල් ගියා." අප්‍රේල්  දාහතර සංගීත සංදර්ශනයට එන්න එපා" යනුවෙන් විදුලි පණිවිඩයක් එවා ගත්තේය.

ගායකයා අවුරුදු දින කොළඹ සංගීත සංදර්ශනවලට සහභාගී වී සාක්කුව පුරවා ගත් අතර අනුරාධපුරයේ ප්‍රසංගයට ඔහු එනතුරු බලා සිටි අය අකරතැබ්බයකට පත් විය.
දින තුන හතරකින් සවස්වරුවක අනුරාධපුරයේ සංගීත සංදර්ශනයේ සංවිධායකවරුන් ආවේගශීලීව ගායකයා සොයා පැමිණි  "මොකක්ද අයියෙ කරපු පහත් වැඩේ, අපි ගණන කීය වුනත් කමක් නැහැ කියල අයියට මාස හයකට ඉස්සෙල්ල වෙන් කර ගත්තේ, අයියව සංගීත සංදර්ශනයට අවශ්‍යම හින්දනෙ..ඇයි මග ඇරියේ.. ඒත් අපට ආරංචි වුණා අයියා කොළඹ ඒවට ගිහින් සිංදු කියපු බව.. සංවිධායකයෝ ගායකයාට චෝදනා කරන්නට වුහ.
ඔවුන්ගේ ආවේගශීලී වචන වලට එකවර පිළිතුරු නොදී සවන්දී සිටි ගායකයා දින පොත ගෙනවිත් ඔහුට අප්‍රේල් මස දාහතරවෙනි දින ලැබුණ විදුලි පණිවිඩය පිරිසට පෙන්වීය.


සංවිධායකවරු එකිනෙකා මුහුණට මුහුණ බලාගෙන විදුලි පණිවිඩය කියවූ අතර " බලන්න ඕගොල්ලෝ මට කරපු අසාධාරණය", මට ඔය විදුලි පණිවිඩය එන්න කලින් කොච්චර ෂෝ ආවද"? මම ඔයාලගෙන් අත්තිකාරම් ගත්ත නිසා, ඒ සේරම ප්‍රතික්ෂේප කළා. අන්තිමට ඕගොල්ලො මට දන්වනව එන්න එපා කියලා, අඩු ගණනේ ඕගොල්ලන්ට යුතුකමක් තිබුණා මට ටිකක් කලින්වත් ඔය විදුලි පණිවිඩය එවන්න"

විදුලි පණිවිඩය අතට ගෙන ඒ ගැන විපරම් කළ පිරිස මේ කාරණාව ඇත්තක් යයි සිතු අතර ඔවුන් සැක කළේ මෙය ඔවුනගේ ප්‍රසංගයට විරුද්ධව ගමේ සිටි විරුද්ධවාදියෙකු කළ වැඩක් බවයි.
"අපි දැනුවත්ව එවපු එකක් නෙමෙයි. ඒත් අපිට සමාවෙන්න අයියෙ මෙහෙම පණිඩිඩයක් ලැබුණම අයියගෙ පැත්තෙන් වැඩේ අත්හැරිය එක හරි.. අයියගේ කිසිම වරදක් නැහැ අත්තිකාරම් සල්ලිත් දැන් අපට එපා.."
‘මචං මේක අනිවාර්යයෙන්ම අර මහත්තයගෙ වැඩක් වෙන්න ඕනෙ.‘

(ෂර්ලි ජයසිංහ)