assam-child-marriage

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තය  තුළ සිදුවුණු නීතිවිරෝධී බාලවයස්කාර ළමා විවාහ  සම්බන්ධයෙන්  පිරිමි පුද්ගලයන් 2,169දෙනෙකු අත්අඩංගුවට ගත් බව එම ප්‍රාන්ත පොලීසිය පවසයි. පසුගිය සතිඅන්තයේදී සිදුකළ වැටලීම්වලදී පමණක් මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.  අද වනවිට ඉන්දියාවේ විවාහ නීතියට අනුව අවම වයස් සීමාව පිරිමින් සදහා අවුරුදු 21ක් වන අතර, කාන්තාවන් සදහා එය වයස අවුරුදු 18කි. එහෙත් විවිධ බලපෑම් හේතුවෙන් ගැහැනු ළමයින් සිය වයස අවුරුදු 18 සම්පූර්ණ වීමට පෙරාතුව විවාහ කරදීම සිදුවෙයි.ඒ අනුව මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති සියලු දෙනා වයස අවුරුදු 18ට අඩු කාන්තාවන් විවාහ කිරීමේ සිදුවීම්වලට සම්බන්ධ වූවන් බව පැවසෙයි.

මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර එම විවාහ සදහා අනුබල දුන් බව පැවසෙන හින්දු පූජකවරුන් 50දෙනෙකු මෙන්ම, මුස්ලිම් පූජකවරයෙකුද වන බව පැවසෙයි.

මේ අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වා ඇති ඇසෑම් ප්‍රාන්තයේ පොලිස් ප්‍රධානී ගයේන්ද්‍ර ප්‍රතාප් සිං, ”පොලීසිය වෙත වාර්තා වූ බාලවයස්කාර විවාහ පිළිබඳ සිදුවීම් 4,074 ක් සම්බන්ධයෙන් පිරිමි පුද්ගලයන් 2,169දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ වාර්තා වූ සමස්ත සිදුවීම් හා සම්බන්ධ පිරිමින් සංඛ්‍යාව 8,000ක් පමණ වෙනවා.” යනුවෙන් පවසා තිබේ.  ඉන්දියානු මාධ්‍ය සඳහන් කරන ආකාරයට ඉන්දියාව තුළ වැඩිම බාලවයස්කාර විවාහ සිදුවන ප්‍රාන්තයක් ලෙස මෙම ඇසෑම් ප්‍රාන්තය හදුනාගෙන ඇති අතර, බොහෝ විවාහ වාර්තා නොවන බවත් පැවසෙයි.

එසේම ඉන්දියාවේ ජාතික අපරාධ වාර්තා කාර්යාංශයේ දත්ත වාර්තා අනුවද 2021 වසරේදී ඇසෑම් ප්‍රාන්තය තුළින් මෙවැනි බාලවයස්කාර ළමා විවාහ 155ක් වාර්තා වී ඇත. 2020 වසරේදී සිදුවීම් 138ක් වාර්තා වී තිබේ.විශේෂයෙන්ම දරිද්‍රතාව, අධ්‍යාපනයේ අඩුකම මෙන්ම වැඩිමනක් ග්‍රාමීය ප්‍රදේශවල පවතින සමාජයීය පිළිගැනීම් සහ පිළිවෙත් යනාදී කාරණා හේතුවෙන් මෙලෙස ඉන්දියාව තුළ බාලවයස්කාර ළමා විවාහ සිදුවෙයි.

මේ අතර ඇසෑම් ප්‍රාන්තය තුළ වැඩි  වශයෙන් ළදරු මරණ මෙන්ම, මාතෘ මරණ අනුපාතයක් වාර්තාවීම සඳහා එක් හේතුවක් ලෙසද මෙම නීතිවිරෝධී බාලවයස්කාර විවාහ හේතුවක් වී ඇති බවත් ඇසෑමයේ පොලිස් ප්‍රධානියා සඳහන් කරයි.

මෙම අත්අඩංගුවට ගැනීමේ සිදුවීම් අවස්ථාවේදී පොලීසිය වෙත පැමිණි බාල වයසේ පසුවන කාන්තාවන් විශාල පිරිසක් හැඩූ කඳුළින් සිටින ආකාරයද ඉන්දියානු මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් කෙරිණි. ඒ අතරින් ඇතැම් පිරිස් අත ළදරුවන්ද සිටින බව දැකගත හැකිවිය. “අපි අමාරුවෙන් හරි ජීවත් වෙනවා. දැන් අපේ ස්වාමිවරුන් අත්අඩංගුවට අරගෙන අපි කොහොමද ඉස්සරහට ජීවත් වෙන්නේ.” යනුවෙන් ඔවුන් එහිදී පවසා තිබේ.මෙම කාන්තාවන් අතර සිටි මවක් සඳහන් කර ඇති ආකාරයට, ඇගේ 23 හැවිරිදි පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගේ බිරිඳගේ වයස අවුරුදු 17ක් බවත් අනාවරණය කෙරි ඇත.

එම අවස්ථාව වනවිටත් ඇය මාස හතක ගැබිනියක් බවත් සඳහන් වී තිබේ.   

උද්ගතව පවතින මෙම අර්බුදකාරී තත්ත්වය මගහැරවීම වෙනුවෙන්  ඉන්දියානු රජ්ය ඉදිරියේදී එරට තුළ කාන්තාවන් සදහා විවාහ වීමේ අවම වයස් සීමාව අවුරුදු 18 සිට 21ක් දක්වා ඉහළ දැමීමටද යෝජනා කර තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ඉන්දියාවේ කාන්තා සහ ළමා සංවර්ධන පිළිබඳ අමාත්‍ය ස්මිත්‍රි ඉරානි, මෙම තීරණය හරහා ගැහැනු දරුවන්ට සිය ශාරීරික සහ මානසික පරිණතභාවයට ළඟාවීමට මෙන්ම, සිය අධ්‍යාපනය සම්පූර්ණ කිරීමේ අවස්ථාව සහ ආර්ථික ස්වාධීනත්වය ළගාකර ගැනීමේ අවස්ථාවද උදාවනු ඇතැයි පවසා තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දත්ත වාර්තා අනුවද ඉන්දියාව ලොව වැඩිම ළමා මනාලියන් පිරිසක් සිටින රට වන අතර, එය මිලියන 223ක් පමණ වන බව ගණන් බලා තිබේ. 2020 නිකුත් කෙරුණු වාර්තාවකට අනුව සෑම වසරකදීම මෙවැනි බාලවයස්කාර දැරිවියන් මිලියන 1.5ක් විවාහ දිවියට ඇතුළත් කෙරෙන බවත් අනාවරණය වී තිබේ.