nandalal-speaks

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපේක්ෂිත ණය ලබා ගැනීම සඳහා එම අරමුදලේ විධායක සභාව දෙසැම්බර් මාසයේදී අනුමැතිය ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසිය. 

ඒ සඳහා වන වැඩපිළිවෙළ මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වන බව ද ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන සාකච්ඡාවල ප්‍රගතිය මත ණය ලබා ගැනීම තීරණය වන බව ද කොළඹ ශ්‍රී ලංකා මහ බැංකු ශ්‍රවණාගාරයේ ඊයේ (6) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මහ බැංකු අධිපතිවරයා කීවේය.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන ප්‍රගතිය දැනුම් දුන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබා ගැනීමට හැකි වන බව ද එහිදී නන්දලාල්  වීරසිංහ මහතා පැවසීය. 


ණය හිමියන් සමග කෙරෙන සාකච්ඡාවල තත්වය ප්‍රකාශ කිරීම අපහසු යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ණය හිමියන් සමඟ සාකච්ඡා කිරීමේදී අනුගමනය කෙරෙන ප්‍රතිපත්ති හේතුවෙන් එලෙස ඒවායේ ප්‍රගතිය ප්‍රකාශ කිරීම අපහසු වී ඇතැයි ද හෙතෙම කීවේය. ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීනය දක්වා ඇති ප්‍රතිචාරය සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු විමසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් මහ බැංකු අධිපතිවරයා මෙසේ ද කීය.

"අපි ණය හිමියන් සියලු දෙනා සමගම සාකච්ඡා කරමින් යනවා. මේ සාකච්ඡා මොන වගේ තත්වයේ ද තියෙන්නේ කියලා අපිට ප්‍රකාශ කරන්න අමාරුයි. අපි මේ සාකච්ඡාවලට සහභාගි වෙද්දී රේඩියෝ සයිලන්ස් (Radio Silence) කියලා එකක් තියෙනවා. අපි මේ සාකච්ඡා සම්බන්ධයෙන් යම් ප්‍රකාශයක් කළොත් ඒවා මගින් වෙළෙඳපොළවලට බලපෑමක් වෙන්න පුළුවන්.  ඒ නිසා අපි යම් කිසි එකගතාවකට ආවාම ඒ ගැන සියලු දෙනාට එකවර ප්‍රකාශ කරනවා. ඒ නිසා සාකච්ඡා තියෙන්නේ මොන මට්ටමේ ද ප්‍රගතිය කොහොමද කියන දේ ගැන ප්‍රකාශ කරන්න අමාරුයි. ඒ නිසා නිශ්චිතව ප්‍රකාශයක් කරන්න අමාරුයි. ඒත් අපි සාකච්ඡා කරගෙන යනවා. මේ සාකච්ඡා කරගෙන යද්දී ප්‍රගතියක් පේන්න තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්.' යැයි ද ඔහු කීවේය.