gta-6-leak

ලෝකයේ විශාල වශයෙන් පැතිරගිය පරිගණක ක්‍රීඩාවක්වන ජීටීඒ හි නවතම 6 වන වෙළුමට අදාළ පරිගණක අපරාධයක් සම්බන්ධ තොරතුරු විදෙස් වාර්තා සඳහන් කරයි.


 අදාළ පරිගණක ක්‍රීඩා සමාගම මගින්  GTA VI නිකුත් කරන්නට සූදානම් වන අතරතුර රහසිගතව සර්වර වෙත රිංගා හැක්කර නවතම වෙළුමෙහි පිටපත් සොරකම් කරගත් බවට හා එහි පිටපත් 90 ක් පමණ නිල නොවන ලෙස බෙදාහරින ලද බවට තොරතුරු ලැබීම නිසා සමාගම පොලිසියට පැමිණිල්ලක් යොමු කර තිබුනි. ඒ අනුව ක්‍රියාත්මක වූ එංගලන්තයේ ලන්ඩන් නුවර පොලිසිය හැක්කිරීමට අදාළව සැකපිට 17 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙයි.


ලන්ඩන් සිටි පොලිසිය නිවේදනය කළේ බ්‍රහස්පතින්දා සවස ඔක්ස්ෆර්ඩ්ෂයර් හි දී මේ සම්බන්ධ 17 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගත් බවත් ජාතික සයිබර් අපරාධ ඒකකය (NCCU) පරීක්ෂණ මෙහෙයවන බවත්ය.
මෙම තරුණයා ‘ලාස්පස්$‘ නමැති හැකර් කණ්ඩායමට සම්බන්ධ බව විශ්වාස කෙරේ. මෙම හැකර් කණ්ඩායම Uber, Microsoft, Cisco, Samsung, Nvidia, සහ Okta ඇතුළු අනෙකුත් විශාල සමාගම්වල ඉහළ මට්ටමේ ඩිජිටල් දත්ත සොරකම් වලට පසුගිය කාලයේ සම්බන්ධ වී ඇත. බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනවසරයෙන් ඇතුළු වූ මෙම කණ්ඩායම ප්‍රථම වරට 2021 දී පෙනී සිටි බවට පොලිස් වාර්තා පෙන්නුම් කරයි.

කණ්ඩායම අක්‍රිය වී ඇතැයි සිතූ නමුත් මේ මස මුලදී නැවතත් ක්‍රියාකාරකම් වේගවත් කර Uber සහ Rockstar Games ඉලක්ක කර ගත් බව කියනු ලැබේ.

ඉතිහාසයේ විශාලතම ඩිජිටල් අපරාධයක් ලෙස ගිනිය හැකි සති අන්තයේ සිදු වූ Grand Theft Auto VI කාන්දුව වීඩියෝ ක්‍රීඩා ලෝකය කළඹන්නට සමත් විය. මුල් පිටපතේ ගොනු 90ක් අන්තර්ජාලය පුරා ව්‍යාප්ත විය. කාන්දුවෙන් පසුව, පරිගණක ක්‍රීඩා සමාගම වන ‘රොක්ස්ටාර් ක්‍රීඩා‘ තහවුරු කළේ යමෙකු "නීතිවිරෝධී ලෙස" එහි ලිපිගොනු වෙත ප්‍රවේශය ලබාගෙන ඒවා අන්තර්ජාලය හරහා බෙදාගෙන ඇති බවයි. මෙම කාන්දුව නිසා ක්‍රීඩාවේ නිෂ්පාදනය මන්දගාමී නොවන බවත් එය වඩාත් නිල වශයෙන් ඉක්මනින් එලිදක්වන්නට සැලසුම් කර ඇති බවත් එහි සඳහන් විය.