saudi-woman-twitter

තම පශ්චාත් උපාධිලාභී සිසුවියක සෞදි අරාබියාව විසින් වසර 34ක සිරදඬුවමකට යටත් කිරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ ලීඩ්ස් විශ්වවිද්‍යාලය බරපතළ කනස්සල්ල පළ කර ඇත. සෞදිය විසින් තම පුරවැසියකු සහ දෙදරු මවක වන 34 හැවිරිදි සල්මා අල් ෂෙහාබ් නමැත්තිය මෙලෙස සිරගත කර තිබේ. ඇයට මෙලෙස සිරදඬුවම් නියම කර ඇත්තේ සල්මා විසින් පසුගිය වසරේ නිකුත් කරන ලද ට්විටර් පණිවුඩයක් පදනම් කර ගනිමිනි.



අදාළ ට්විටර් පණිවුඩය හේතුවෙන් ඇයව අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය වසරේදීය. ට්විටර් පණිවුඩය ඔස්සේ ඇය නිදහස් මතධාරී සිවිල් ක්‍රියාකාරීන්ට එල්ල කෙරෙන පීඩනය නතර කරන ලෙස සෞදි බලධාරීන්ගෙන් ඉල්ලා ඇත. මානව හිමිකම් සංවිධාන පෙන්වා දී ඇත්තේ කාන්තා අයිතිවාසිකම් වැඩිදියුණු කරන බවට සෞදිය ලබාදී ඇති පොරොන්දුවල විශ්වාසභාවය මෙම දඬුවම් ඔස්සේ මනාව පැහැදිලි වන බවයි.

කෙසේ වෙතත් සෞදිය විසින් සල්මාට එල්ල කර ඇති චෝදනාව වන්නේ මහජන සාමය කඩාකප්පල් කිරීම, විරුද්ධවාදීන්ට උපකාර කිරීම සහ අසත්‍ය කටකතා පැතිරවීමයි. මෙම චෝදනාවන් සලකා බැලූ සෞදියේ ත්‍රස්ත විනිශ්චය අධිකරණ සභාවක් විසින් සල්මා වරදකාරියක බවට පත් කර ඇත. මානව හිමිකම් සංවිධාන වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ පාලනය යටතේ සාමකාමී ක්‍රියාකාරිකයකුට මෙතෙක් හිමි වූ දීර්ඝතම සිරදඬුවම මෙය වන බවයි.

නයන තරංග ගමගේ