rohitha-speaks

'පොදු දේපළ” පනත යටතේ විවිධ පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා ලෙසින් පාර්ලිමේන්තුවේ 'මයික්" කැඩු ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු අනෙකුත් මන්ත්‍රීවරුන්ද අත්අඩංගුවට ගත නොහැකිදැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේදී ඊයේ (04දා) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීහු ප්‍රශ්න කළහ. එම පෙරමුණෙහි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා මෙම මාධ්‍ය සාකච්ඡාවට එක්ව සිටි අතර, එහිදී හෙතෙම පිළිතුරු දුන්නේ ඊට අදාළ නීතිය ක්‍රියාත්මක කිරිම කථානායකවරයාගේ වගකීමක් වන බවයි.



ඒ අනුව අදාළ නීතිය ක්‍රියාත්මක කර තිබේදැයි මාධ්‍යවේදීන් විමසා සිටි අතර, ඊට පිළිතුරු ලෙස මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ එය තමන්ට අදාළ කටයුත්තක් නොවන බවයි. පාර්ලිමේන්තුව තුළ දේපළ හානියක් සිදුව තිබේ නම් ඒ පිළිබඳ විමර්ශනයක් සිදුකර අලාභයක් සිදුව ඇති බවට තහවුරු කරගැනීමෙන් අනතුරුව නීතිය ක්‍රියාත්මක කිරීම කථානායකවරයාගේ වගකීම වන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට රටේ ප්‍රශ්නවලට මුහුණ දීමට බැරිකමක් තිබුණු බවද රෝහිත අබේගුණවර්ධන මහතා එම සාකච්ඡාවේදී පැවසීය.

“ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අපි විසින් අපේ පක්ෂයෙන් ගෙනාපු ජනාධිපතිතුමා. එතුමාට මේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න යම් බැරිකමක් තිබුණා. මේ ප්‍රශ්නවලට විසඳුම් දුන්නා නම් එතුමා තවම ජනාධිපතිනේ.

ෆේල් කතාව නෙවෙයි කියන්නෙ, එතුමාට මේ සමාජ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න බැරිවුණා. එතුමා හැබැයි ලෝකයේ ඉතිහාසගත වෙයි ප්‍රජාතන්ත්‍රවාදය ඉතාම ඉහළින්ම ආරක්ෂා කරපු ජනාධිපතිවරයා හැටියට. තමන් හිටපු පෞද්ගලික ගෙදරට ගහපු වෙලේවත් තීන්දුවක් ගත්තෙ නෑ. රජගෙදරටත් ඇවිල්ලා, එතෙන්ටත් ගහලා, එතුමා ලංකාවෙනුත් ගියා. ඉතින් ප්‍රජාතන්ත්‍රවාදය ඔයිට වැඩිය ?”