wimal-speaks

'අරගලය' නමැති ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක් ලෙස මහමැතිවරණයෙන් පැරදී වසර එකහමාරකට පසු පාර්ලිමේන්තුවට පැමිණි රනිල් ජනපති වෙන්න ස්විප් එක ඇදගත් බවද නිසි අරමුණකට වැඩ නොකර රැවුල් වවාගත් ව්‍යාජ අරගලකරුවන් ලබාදුන් වෙනස එය යැයිද ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් විමල් වීරවංශ මහතා සඳහන් කළේය.ඔහු මෙසේ කීය.

"අපි පසුගිය අප්‍රේල් මාසයේ 08 වැනිදා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ලිඛිතව පෙන්වා දුන්නේ 'සර්වපාක්ෂික ජාතික එකඟතා පාලනයක් අන්තර්කාලීනව පිහිටුවන්න. ආර්ථික අර්බුදය, දේශපාලන අර්බුදයක් බවට පත්ව ඇති මොහොතේ රට ස්ථාවර කළ හැක්කේ එමගින් පමණයි' කියා. කෙසේ නමුත් ඊයේ දිනයේත් අවස්ථාවක් තිබුණා ඉහත කී 'සර්වපාක්ෂික ජාතික එකඟතා පාලනය' අන්තර්කාලීනව පිහිටුවීමට. ඒ අවස්ථාවත් අවාසනාවන්ත ලෙස මගහැරී ගොස් තිබෙනවා.




ඡන්දයෙන් පැරදුනු, ජාතික ලැයිස්තුවෙන් අවුරුදු එකහමාරකට පසුව මෙරට පාර්ලිමේන්තුවට ආපු රනිල් වික්‍රමසිංහ මහත්තයාට හැකියාව ලැබුණා පොහොට්ටුවේ බලධාරීන්ගේ අනුග්‍රහය හා උපකාරය යටතේ ඊයේ පැවති ජනාධිපතිවරණයෙන් ජය ගැනීමට. අපි මේක දකින්නේ 69ලක්ෂයක ජනතාවකගේ ඡන්දයෙන් ජයග්‍රහණය කළ ජනාධිපතිවරයා ගෙදර යවලා ඡන්දයෙන් පැරදුනු රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කරවීමක් ලෙසයි. ඡන්දය දිනපු ගෝඨාභය රාජපක්ෂ ගෙදර යැවීම තමන්ගේ අරගලයේ ප්‍රතිඵලයක් ලෙසයි එම අරගලයේ ප්‍රකාශකයෝ පවසන්නේ. අන්තිමේදී බලපුවාම අරගලයෙන් වෙලා තිබෙන්නේ ඡන්දයෙන් දිනපු ගෝඨාභය රාජපක්ෂව ගෙදර යවලා ඡන්දයෙන් පැරදුනු රනිල් වික්‍රමසිංහව ජනාධිපති පුටුවේ වාඩි කරවීම.


මේක කොහොමද වුණේ? මං මේ පිළිබඳව මීට ඉහතදී පාර්ලිමේන්තුවේදී පැවසුවා, 'මේ අර්බුදය දිහා ආත්මාර්ථකාමීව බලන්න එපා! එහෙම වුණොත් මේ අර්බුදයෙන් පොටපෑදෙන්නේ කවුරුත් නොහිතන අයට' කියලා. හැන්සාර්ඩ් වාර්තාවල එකී ප්‍රකාශය සටහන්ව තිබෙනවා. හැම අරගලයකම ජයග්‍රහණය එනවා කියන්නේ 09 වැනිදාවකනේ. 'මැයි 09 ගෙවල් ගිනි තිබූ අරගලයේ' ප්‍රතිඵලයක් ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වෙලා තිබෙනවා. ජූලි 09 අරගලයේ ප්‍රතිඵලයක් ලෙස එතුමා වැඩබලන ජනාධිපති ධුරයට පත් වෙනවා. සමස්ත අරගල ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක් ලෙස දැන් රනිල් වික්‍රමසිංහ මහතා 08 වැනි විධායක ජනාධිපති ලෙස පත්ව තිබෙනවා. ජූලි 09 වැනිදා ජනාධිපති මන්දිරය වටකරලා ජනතාව මහා විරෝධතාවක නිරත වූ අවස්ථාවේදී හැර ඊට පෙර සෑම අවස්ථාවකදීම අපි 'ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතුයි' කියා නොකීවේ ඇයි? ඉන්පසුව ඊටත් වඩා නරක කෙනෙක් එන්න පුළුවන් නිසා, අරාජිකත්වය වඩාත් මෝරන නිසා අපි එහෙම කීවේ නැහැ. නමුත් එය තේරුම් ගැනීමට තරම් තරුණ අරගලකරුවන්ට නුවණක්, බුද්ධියක් සිහි කල්පනාවක් තිබුණා කියා අපි සිතන්නේ නැහැ.




මේක තවදුරටත් සලකා බලන විට පෙනෙන්නේ අරගලකරුවන් තමන්ගේ මන්දිරය වටලන විට වෙඩි තබන්න නියෝග නොකරපු ජනාධිපතිවරයා ගෙදර යනකොට, අරගලකරුවන්ට 'පරිප්පු කවන්න' බලා සිටින කෙනෙක් ජනාධිපති පුටුවේ වාඩි වී ඇති බවයි. දේශපාලන න්‍යායක් - උපායමාර්ගයක් නැති, ඥානයක් - හිසක් නැති අරගලයක ප්‍රතිඵලය විදිහට, 'අරගලකරුවන්ටම නෙළන්න පුළුවන් බඩ්ඩක්' හැටියට මුද්‍රාව ලබා ඇති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් ජනාධිපති වී තිබෙනවා.


පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 134ක් රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය දුන්නේ ඇයි? ඒකට විවිධ හේතු තිබෙන්නේ පුළුවන්. නමුත් ප්‍රධාන හේතුවක් තිබෙනවා. ඒ තමයි මන්ත්‍රීවරුන්ගේ අනාරක්ෂිත මනස. 'අපට ආරක්ෂාවක් නැහැ. අපේ ගෙවල් ගිනි තිබ්බා. ගමට යන්න බැහැ, එනවා ප්‍රචණ්ඩ ලෙස පහර දෙන්න. සේරටම කලින් මේ තත්ත්වය වෙනස් කරගන්න ඕනේ. මේ තත්ත්වය වෙනස් කරන්න පුළුවන්, මේ පිළිබඳව කීර්තිමත් උපාධියක් ලබා සිටින රනිල් වික්‍රමසිංහට තමයි' කියලයි ඒ පිරිස හිතන්නේ. මේ තමයි රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්ද 134ක් ලැබීමට ප්‍රධාන හේතුව. මේ මනස හැදුවේ කවුද? අරගලය; මැයි 09 වැනිදා රාත්‍රියේ ගෙවල් ගිනි තියපු සෙට් එක. අන්තිමේදී ඒ සෙට් එක ගෙවල් ගිනි තියලා පොටපාදලා දී ඇත්තේ කාටද? වික්‍රමසිංහට. අපට පෙනෙන ආකාරයට මේ 134 තුළ සිටිනවා, පොහොට්ටුවේ පමණක් නොවෙයි, සජබ හා ටීඑන්ඒ මන්ත්‍රීවරු. වෙනත් කවර හේතු තිබුණත් එයාලා රනිල් වික්‍රමසිංහට ඡන්දය දීමට ප්‍රධාන හේතුව ඔවුන්ගේ අනාරක්ෂිත මනසයි. එයාලා සියලුදෙනා සෙව්වේ මේ අනාරක්ෂිතභාවය ඇති කළ පිරිසට 'පරිප්පු දෙන්න' පුළුවන් ජනාධිපති කෙනෙක්.


එම මන්ත්‍රීවරුන් හිතනවා 'එදා පාර්ලිමේන්තුව වට කරන්න සුනිල් හඳුන්නෙත්තිලා, ලාල්කාන්තලා ආපු වෙලාවේ, පාර්ලිමේන්තුව තවත් ජනාධිපති ලේකම් කාර්යාලයක්, ජනාධිපති මන්දිරයක්, අරලියගහ මන්දිරයක් බවට පත් කරගන්න උත්සාහ කරපු වෙලාවේ ඒකට ඉඩ නොදී හදිසි නීතිය, ඇඳිරි නීතිය දමා ආරක්ෂක අංශවලට නියෝග දීලා හොඳට නෙළලා යැව්වෙ රනිල්. එහෙම කෙනෙක් තමයි ඕනේ' කියලා. එහෙම කෙනෙක් ඕනේ කියා මන්ත්‍රීවරයාගේ මනස හැදුවේ කවුද?අරගලය.


දේශපාලන න්‍යායක්, අනාගත දැක්මක්, විචාරශීලී කියැවීමක් යන කිසිවක් නැති, රැවුල් වවාගත්තු, කනේ කරාබු දාගත්තු, ලිබියාවේ කැරලිකරුවන්ගේ ස්වරූපය හදා ගත්තු අය, හෙන වීරයෝ වෙලා සුන්දර කතා කියපු සමාජ ජාලා ක්‍රියාකාරිකයෝ, නළු නිළියෝ යන මේ සියලුදෙනා ෆෝම් කරලා අන්තිමට ගෙනාවේ කවුද? රනිල්. මේක තමයි ඇත්ත කතාව. මන්ත්‍රීවරුන්ට රනිල්ව ඕනෑ වුණේ මේ හින්දයි. ඒ වගේම ඔවුන් හිතුවා, 'ඩලස් කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී වැඩි කෙනෙක්, අරගලකරුවන් සමග හුරතල් වන කෙනෙක්, අරගලකාරයන්ට පරිප්පුව දෙන්න බැරි කෙනෙක්' කියා. ඒ නිසා ඩලස්ට වඩා එයාලාට රනිල් හොඳ වුණා.




මේකෙන් උගත යුතු පාඩමක් තියෙනවා. මේ තිබෙන්නේ ආර්ථික අර්බුදයක්නේ. ඒ නිසා, අරගලයට හේතු වූ ප්‍රධාන සාධකයත් එයමයි. තෙල්, ගෑස්, පොහොර නැතිකම, ආනයනික භාණ්ඩ හිඟය නිසා ස්වාභාවිකවම මහජනයා තුළ ඇතිවූ විරෝධය එතැනට ගොනු වුණා. ඕනෑම විරෝධයක් කළමනාකරණය කරන විට එයට ඥානාන්විත නායකත්වයක් තිබිය යුතුයි. නැත්නම් වෙන්නේ 'ස්විප් එක' වෙන අයට ඇදෙන එක.


අලුත් ජනාධිපතිවරයා පිළිබඳ අසුබවාදී චිත්‍රයක් මවන්න අපට උවමනා නැති වුවත් මේ රට වැටිලා තිබෙන තරමේ හැටියට, ඔහුට හෝ ඔහු දිනවීමට මූලික වූ කණ්ඩායමට මේ රට ගොඩගන්න පුළුවන් වේවි, කියලා අපට අබමල් රේණුවකවත් විශ්වාසයක් නැහැ. අපි ඉන්නේ, 'ලබන මාසේ පඩිය රජයේ සේවකයාට ගෙවන්නේ කොහොමද?' කියන ප්‍රශ්නය ඉදිරිපිට. මේ වසරට වඩා ඉදිරි වසර අමාරු වේවි, කියා ආර්ථික විශේෂඥයන් අනාවැකි පළ කරද්දී රටට නායකත්වය ලබාදිය යුත්තේ සුජාතභාවයෙන් යුත් කණ්ඩායමක්. ඔවුන් මහජනයා තුළ විශ්වාසය ඇති කළ යුතුව තිබෙනවා.

ඒ නිසා තමයි අපි හැමවිටම සර්වපාක්ෂික ජාතික එකඟතා පාලනයක් පිළිබඳව අවධාරණය කළේ. ඩලස් අලහප්පෙරුම ජයග්‍රහණය කළා නම්, සජිත් ප්‍රේමදාස ඇතුළු එම සන්ධානය, වෙනත් පක්ෂ ගණනාවක් සහිතව සර්වපාක්ෂික ජාතික එකඟතා පාලනයක් ගොඩනැගීමට නියමිතව තිබුණා. එහෙම වුණාම මහජන විශ්වාසය මෙන්ම ජාත්‍යන්තර විශ්වාසය ද දිනාගත හැකිව තිබෙනවා. කෙසේ නමුත් මෙවැනි සුජාතභාවයකින් තොර පාලනයක් ඉදිරියට යන විට මහජන ආතතිය, පීඩනය වැඩි වෙද්දී නැවත පුපුරා යෑමට තිබෙන ඉඩකඩ වැඩියි.


නමුත් මෙහිදී කියන්න ඕනේ, ඒ පුපුරා යෑම මර්දනයෙන් යටපත් කිරීමට තිබෙන ඉඩකඩත් අඩු බව. ඉහත කී මන්ත්‍රීවරුන් 134දෙනා අතරින් සමහරු හිතනවා ඇති 'එදා, 88 - 89 ජවිපෙන් ආපු අභියෝගය රනිල් වික්‍රමසිංහ මහත්තයාලා ජය ගත්තා. මේ තත්ත්වයත් එහෙම කළමනාකරණය කරාවි' කියා. එදා වට්ස්ඇප් සමූහ, නෙට්වර්ක් ඇතුළු සමාජ මාධ්‍ය පැවතියේ නැහැ. නමුත් අද පීඩනයෙන්, දරිද්‍රතාවෙන් පෙළෙන, තමන්ගේ ජීවන රටාව අභියෝගයට ලක් කිරීම හේතුවෙන් ආතතියෙන් පෙළෙන තරුණ හා මැදි වයසේ මහා සමාජයක් මෙම සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් හුවමාරු කර ගන්නවා. එම අදහස් ප්‍රඥාවන්ත වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. එය පාලනයකින් තොරව සිදු වෙනවා. එවැනි තත්ත්වයක් තුළ, 88-89 පන්නයේ මර්දනයකින් හෝ වෙනත් ආකාරයේ මර්ධනයකින් මිනිසුන්ගේ සිතිවිලි යටපත් කළ හැකියි, කියා සිතනවානම් එය සාධාරණ නැහැ; නිවැරදි නැහැ.


අරගලයේ නිරත ඇතැම් අය රනිල් වික්‍රමසිංහ ජනාධිපති වීම පිළිබඳව අසතුටු ඇති. අසතුටු වුණා කියලා දැන් කළ හැකි දෙයක් නැහැ. රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හා සෙසු නීති තිබෙනවා. ඒවාට අනුවනේ මේවා සිදුවන්නේ. එය බලහත්කාරයෙන් නතර කිරීමට බැහැනේ. මට හිතෙන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එයාට ජනාධිපති පුටුවට පත්වීමට ඉඩකඩ හදපු අයට සාධාරණය ඉටුකිරීම සඳහා මුලින්ම ගාලුමුවදොර පිටිය දෙස බලයි.

කෙසේ නමුත් අපට ඉතා පැහැදිලිව කිව හැකියි, වත්මන් ආර්ථික අර්බුදයට විසඳුම් රනිල් වික්‍රමසිංහ මහතා සතුව නැහැ, කියා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග  කෙරෙන ගනුදෙනුවකට එහා ගිය, ආර්ථිකයේ සිදුවිය යුතු උපායමාර්ගික වෙනස්කම්, අණපනත්වල සංශෝධන පිළිබඳව සාකච්ඡාවක් ඔහුට නැහැ. එහෙම වැඩපිළිවෙළක් නොමැති වීම ඔහුට ඡන්දය දුන් මන්ත්‍රීවරුන්ට අදාළ නැහැ. ඔවුනට අවශ්‍ය ඇත්තේ තමන්ට ආරක්ෂාව සලසා ගැනීම පමණයි. මෙමගින් සිදුවෙන්නේ මේ ආර්ථික අර්බුදය අපාලිතව වැඩීමයි.



තව මාස 02 -03කින් සමාජය තුළ පුපුරා යාමක් සිදුවීමට පුළුවන්. එය පාලනය කිරීමට ලේ වැකි තීන්දු තීරණ ගැනීමට ඉඩ තිබෙනවා. එමඟින් බටහිර බලවතුන් බලාපොරොත්තු වන  'බ්ලඩ් බාත් එක : ලේ ගංගාව' නිර්මාණය වීමට ඉඩ තිබෙනවා. ඒ ලේ ගංගාව නිර්මාණය වුවහොත් එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාමය මැදිහත් ළවීමකට පොටපෑදෙනවා. එසේ නොවන්නේ නම් ඉන්දියානු මැදිහත්වීමකට පොටපෑදෙනවා.අවසානයේදී අරගලකරුවනුත් අරගලයට බියෙන් රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තුවේදී ඡන්දය දුන් අයත් 'නියම උත්තරයට : සර්වපාක්ෂික ජාතික එකඟතා පාලනයට' වැඩෙන්න නොදී එය වළකලා මේ රට බිහිසුණු අනාගතයක් කරා යන මාවතකට රැගෙනවිත් තිබෙනවා.

ජාතික නිදහස් පෙරමුණ ලෙසත් පක්ෂ 10 හැටියටත්  අපි මේ අර්බුදය හමුවේ 'ළඟ නවන' තීරණවලට ගියේ නැහැ. අපි මේ තත්ත්වය හමුවේ හැමවිටම දුර බැලුවා - දුර දැක්කා. අපට තිබෙන බිය ඩලස් අලහප්පෙරුම මහතා පරාජයට පත්වීම නොවෙයි. 'ගෝඨාභය රාජපක්ෂ මහතා මුහුණ දුන් ආකාරයට නොවෙයි ඉදිරියේදී සිදුවන පුපුරා යාමකට රනිල් වික්‍රමසිංහ මහතා මුහුණ දෙන්නෙ. එමගින් බටහිර බලවතුන් බලාපොරොත්තු වන ලේ ගංගාව නිර්මාණය වුවහොත් මේ රටේ අවසාන පරිච්ඡේදයත්  ලියවේවි' කියන බියයි අපට ඇත්තේ. 'එම තත්ත්වය වැළැක්වීම සඳහා අපි සියලුදෙනා එක්ව ප්‍රඥාවන්තව කටයුතු කරමු, කියන යෝජනාවයි අපට ඇත්තේ."