
අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 124 වන වගන්තිය ප්‍රකාරව මහේස්ත්‍රාත්වරයා මෙම අවසරය දුන්නේ, මරණීය දණ්ඩනය නියමව බුස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ගම්පොල විදානගේ සමන්ත කුමාර නොහොත් 'වෙලේසුදා" නමැත්තාගේ මස්සිනා වන ඉමදූව ඇල්ලගොඩ පහළ කනත්ත වත්තේ පදිංචි අගුලුගහ ජාගොඩගේ වසන්ත පුෂ්පකුමාර, නුගේගොඩ කොහුවල පදිංචි මද්දුමරාළලාගේ ප්‍රියන්ත සහ අමුගොඩ කංකානම්ගේ නිහාල් ප්‍රසාද් යන සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ය.
මෙම සැකකරුවන් සහ 'වෙලේ සුදා' නමැත්තා අතර ඇති සබඳතාව සම්බන්ධයෙන් පරීක්ෂා කර බැලිය යුතුව ඇති බැවින් ඔවුන් මත්ද්‍රව්‍ය පනත ප්‍රකාරව රදවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අවසර ලබාදෙන ලෙසට ඉමදුව පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් කුමාර මහතා අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය. ලද තොරතුරකට අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් අතර මෙහි පළමු සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 1500ක ප්‍රමාණයට අමතරව රුපියල් 33,000ක්, බැංකු පොත් දෙකක්, ජංගම දුරකතන 04ක් ඇතුළු දුවා දරු අත්අඩංගුවට ගත් බව පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. මෙහි පළමු සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එම නිවසේ රැඳීසිටි අනෙක් පුද්ගලයන් දෙදෙනා පිළිබඳව ද විමර්ශනය කළ යුතුව ඇති බැවින් ඔවුන් සම්බන්ධයෙන් ද රැඳවුම් නියෝග ලබාදෙන ලෙසට ද පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මෙම සැකකරු වෙලේ සුදා නමැත්තාගේ බිරිඳගේ වැඩිමහලු සහෝදරිය සමඟ විවාහවී සිට ඇයගෙන් වෙන්ව වෙනත් කාන්තාවක හා දැනට ජීවත්වන බවත් ඔහු හෙරොයින් සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට පැමිණෙන විට ඔහුගේ බිරිඳ ඔහු හැරගොස් සිටි බවටත් කරුණු අනාවරණය වන බව පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
මෙම සැකකරු සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් දුරකතන හතරේ අඩංගුව තිබු සිම්පත් 06 සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශනය කළ යුතුව ඇති බැවින් සහ මෙම සිම් කාඩ්පත්වලට අදාළව ඊශිකෑෂ් ක්‍රමයට මුදල් හුවමාරුවී ඇතිදැයි යන්න සම්බන්ධයෙන් ද දුරකතන විශ්ලේෂණ වාර්තා කැඳවීමට අදාළ දුකරතන සමාගම් වෙත නියෝග නිකුත් කරන ලෙස ද,පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය. මෙම සැකකරු සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් බැංකු පොත්වලට අදාළව ගිණුම් වාර්තා ලබා ගැනීම සඳහා සහ ඔහුගේ ජාතික හැඳුනුම්පත් අංකයට අදාළව බැංකු 05කට නියෝග නිකුත් කරන ලෙසට ද පොලිසිය අධිකරණයෙන් නියෝග ඉල්ලා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය පොලීසිය ඉල්ලා සිටි නියෝගයන්ට අවසර දෙමින් සැකකරුවන් ලබන 17 වැනිදා තෙක් රදවා ගැනීමට අවසර ලබා දෙමින් එදිනතෙක් නඩුව කල් තැබීය.
