උතුරු පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රී එම්.කේ. ශිවාජිලිංගම් මහතා අත්අඩංගුවට ගැනීමත් සමගම යාපනයේ තිලීපන් සමරු උත්සව සියල්ල නවතා දැමීමට තීරණය කොට තිබේ.
මේ අනුව යාපනයේ නල්ලූර් කෝවිල අසල පිහිටි තිලීපන් ස්මාරකයේ සියලූම සැරසිලි ද ඉවත් කොට ඇති අතර, 15දා සවස් කාලය වන විට එම ස්ථානය පාළු ස්වභාවයකින් යුත් තැනක් බවට පත්ව තිබුණි.

තිලීපන් යනු කොටි නායකයකු බවත් ඔහු මියගියේ නිරාහාරව සිටීමෙන් නොව වෙනත් රෝගී තත්ත්වයක් හේතුවෙන් බවටත් ආරක්ෂක ලේකම් හිටපු මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් ප‍්‍රකාශ කිරීමත් සමගම යාපනයේ පොලිසිය තිලීපන් සමරු උළෙල නීති විරෝධී බවට ප‍්‍රකාශ කෙරෙන අධිකරණ නියෝගයක් ලබා ගෙන තිබුණි.

මේ නියෝගය කඩ කිරීම නිසා අත්අඩංගුවට ගත් හිටපු මන්ත‍්‍රී ශිවාජිලිංගම් මහතාගෙන් කට උත්තරයක් ලබා ගෙන ඔහු නිදහස් කොට තිබේ. නමුත් 15 දා සිට යාපනය පුරා දැඩි ආරක්ෂාවක් යොදා තිබේ.

දිනසේන රතුගමගේ