ගිනි ගැනීමට ලක්වු "එම්.ටි. නිව් ඩයමන්ඩ්" ඉන්ධන නෞකාවේ හානිය නිරික්ෂණය කිරිම සඳහා එහි ගැලවුම්කාර සමාගමේ නියෝජිතයන් තිදෙනකු ඊයේ (9) පෙරවරුවේ නෞකාවට ඇතුළු වූ බව නාවික හමුදාව පවසයි.  මේ කණ්ඩායම් නෑවට ඇතුළු වී එහි හානිය නිරික්ෂණ කිරිමේ කටයුතුවල නිරත  වෙමින් සිටින බව
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසීය.  නෞකාව ඊයේ (9) සවස් වනවිට සංගමන්කන්ද ප්‍රදේශයේ සිට නාවික සැතපුම් 41ක් ගැඹුරු මුහුදට ඇදගෙන ගොස් තිබූ බව ද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.  මෙතෙක් සිදුකළ නිරික්ෂණ අනුව ගින්න හේතුවෙන් නෞකොවේ බොරතෙල් සංචිතයන්ට හෝ නෞකාවෙන් සාගරයට බොරතෙල් කාන්දුවීමේ අවදානමක් දකින්නට නොමැති බවද  නාවික හමුදා මාධ්‍ය  ප්‍රකාශකවරයා සඳහන් කළේය.

පෙරේදා (8) පස්වරුවේ නැව  දෙසින් ඉන්ධන පැල්ලම් දක්නට ලැබුණ බවත්, ඊයේ  දිනයේ ද නෞකාව ආශ්‍රිත මුහුදු  ප්‍රදේශයේ ඉන්ධන පැල්ලමක් නිරික්ෂණය වූ බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. එහෙත් මෙම තෙල් පැල්ලම නැවේ ගබඩා කළ ඉන්ධන කාන්දුවීමක් හේතුවෙන් ඇති වූවක් නොවන බව කීය. නැවේ එන්ජිමෙන් පිටවන ඩීසල් බවට හෙළිවී ඇති මෙම ඉන්ධන පැල්ලම් නාවික සැතපුම් දෙකක පමණ ප්‍රදේශයක විහිදී තිබූ බව ද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කීය. එම ඉන්ධන පැල්ලම් පවතින ප්‍රදේශයට රසායන ද්‍රව්‍යයක් ඉසීමෙන් ඉන් සාගර පරිසරයට විය හැකිව තිබූ බලපෑම අවම කිරීමට පියවර ගත් බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. මේ සඳහා ඉන්දීය වෙරළාරක්ෂක බළකායේ ඩ්‍රෝන ගුවන් යානා මගින් විශේෂ  රසායනික ද්‍රවයක් ඉසීමට පියවර ගෙන ඇති බවද නාවික හමුදාව සඳහන් කළේය.

මෙතෙක් සිදුකළ පරීක්ෂණ අනුව හෙළි වී ඇත්තේ මෙම ඉන්ධන පැල්ලම් ගිනි ගැනීමට ලක්වූ නෞකාවේ ගබඩා කර ඇති ඉන්ධන නොව නෞකාව යාත්‍රා කිරීමේ දී යොදාගනු ලබන ඩිසල් බවට සැකකරන බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.  නාවික හමුදා ටග් යාත්‍රා මගින් මෙම නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යන අවස්ථාවේ දී එහි ධාවනය සඳහා යොදා ගනු ලබන ඉන්ධන මෙසේ මුහුදට වැටෙන බවද හෙතෙම පැවසීය. මෙම නෞකාවේ ධාවනය සඳහා යොදා ගනු ලබන‍ෙඉන්ධන පිටවන්නේ කෙසේද යන්න සොයා බැලීම සහ ඒ

සඳහා ගත හැකි ක්‍රියා මාර්ග සොයා බැලීමට නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ උපදෙස් මත නාවික හමුදාවේ විශේෂ කණ්ඩායමක් නෞකාව බලා ගමන් ගත්ත ද අයහපත් කාලගුණය හේතුවෙන් එම කණ්ඩායමට නෞකාව දෙසට ගමන් කිරිමට දුෂ්කර වී ඇති බවද නාවික හමුදාව මාධ්‍ය  ප්‍රකාශකවරයා කීය.

මේ අතර ගින්න හටගත්  නෞකාවේ සාගර පරිසරයට සිදුවූ බලපෑම තක්සේරු කිරිම සඳහා ආපදාවට පත් නෞකාව රඳවා ඇති මුහුදු ප්‍රදේශයේ ජල නියැඳි පරික්ෂා කිරීමට ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනය (NARA) ශ්‍රී ලංකා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (NMEPA) හා රුහුණු විශ්වවීද්‍යාලය යන ආයතනවලට අයත් නිලධාරිගෙන් කණ්ඩායමක් එම ප්‍රදේශ වෙත ගොස් නියැඳි ලබාගෙන ගොඩබිමට පැමිණ ඇති බවද නාවික හමුදාව පවසයි.  එම ජල නියැඳීන් රසායනාගාර පරීක්‍ෂණ සඳහා යොමුකිරීමට පියවර ගෙන ඇත. ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනය (NARA) අයත් සමුද්‍රීය පර්යේෂණ  නෞකාවක් ඊයේ එම මුහුදු ප්‍රදේශයට ළගාවී වැඩිදුර පරික්‍ෂණ කටයුතු සිදු කිරිමටද නියමිත බව නාවික හමුදාව සඳහන් කළේය.

නෞකාවේ ගින්න මැඩපැවැත්වීමේ කටයුතු ගුවන් හමුදාපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් මත  ගුවන් හමුදා මෙහෙයුම් අධ්‍යක්ෂ එයාර් වයිස් මාෂල් රවී ජයසිංහ මහතා මෙහෙයවන බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂ්‍යන්ත විප්සාහ මහතා පැවසීය.  ගුවන් හමුදා ඉතිහාසයේ පළමුවරට මෙවන් වූ සුවිශේෂි මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවද ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කීය. මෙම ගුවන් මෙහෙයුමේ දී මේ දක්වා “බම්බි බකට්" ආධාරයෙන් අවස්ථා 176කදී නැව් මතට ජලය ලීටර් 4,40,000 ක් ගුවන් යානා යොදා ගනිමින් හෙළා ඇති බවද ඔහු පැවසිය. ජලයට අමතරව ගුවනින් වියළි රසායනික ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 4500 ක් හෙළා ඇති බවද ඔහු තවදුරටත් කීවේය.


-ඉන්දිකා රාමනායක-