දිනපතාම පාහේ උපැස් යුවළ පැලඳීම මඟින් නව කොරෝනාවෙන් එල්ල වන අවදානමින් පස් ගුණයක ආරක්ෂාවක් හිමිවන බව චීනයේ පර්යේෂකයන් පිරිසක් සිදු කළ නවතම අධ්‍යයනයක් මගින් පෙන්වා දෙයි. එරට නැන්චැන්ග් විශ්වවිද්‍යාලයේ කණ්ඩායමක් මෙම අධ්‍යයනය සිදු කර ඇත.
මිනිස් සිරුරේ සෛල වෙත ඇතුළු වී නව කොරෝනාව ආසාදනයට හේතු වන ACE-2නම් ප්‍රතිග්‍රාහක අපගේ ඇස් ආශ්‍රිතව හඳුනාගැනීමට ලැබීම මෙම අධ්‍යයනය සඳහා හේතුව වී තිබේ. ඒ අනුව සෞඛ්‍ය සේවකයන් සැමවිටම සිය ඇස් ආරක්ෂා කරගැනීමට අවධානය යොමු කරවීමේ වැදගත්කම සම්බන්ධයෙන් මෙම අධ්‍යයනය වඩාත් හොඳ සාක්ෂි සපයන බවත් පර්යේෂකයන් පවසා සිටියි.

එසේම ජනතාව තුළ සෑමවිටම සිය දෑත් සේදීමේ පුරුද්ද ඇතිකිරීමටත්, කිසිඳු විටෙක අපිරිසිදු දෑතින් සිය මුහුණ ඇල්ලීම නොකළ යුතු බවටත් වන උපදෙස් නිකුත් කිරීමටත් මෙය හොඳ අවස්ථාවක් බව පර්යේෂකයන් සඳහන් කරයි.

මෙම අධ්‍යයනය සඳහා පසුගිය ජනවාරි 27දා සිට මාර්තු දක්වා නව කොරෝනාව ආසාදනය වූ රෝගීන් 276දෙනෙකු පිළිබඳව අධ්‍යයනය කර ඇත.

ඒ අතරින් රෝගීන් 30දෙනෙකු (10.9%ක්) උපැස් යුවළ පලඳින බවත් මෙහිදී හඳුනාගෙන ඇත. ඉන් ළඟ නොපෙනීම සඳහා 16දෙනෙකුත් සහ දුර නොපෙනීම සඳහා 14 දෙනෙකු උපැස් යුවළ පැලඳීම සිදු කරයි.

ඒ අතරින්ද ළඟ නොපෙනෙන රෝගීන් 16දෙනා දිගුකාලීනව එනම් දවසේ පැය 8කට වඩා වැඩි වේලාවක් උපැස් යුවල පලඳින්නන්ය. එසේම නව කොරෝනා වසංගතය මුලින්ම වාර්තා වී දරුණු ලෙස ව්‍යාප්ත වූ චීනයේ හුබෙයි පළාතේ වාසය කරන්නන්ගෙන් 31.5%කට වැඩි ප්‍රමාණයක් මෙම ළඟ නොපෙනීමේ දුර්වලතාව හේතුවෙන් උපැස් යුවළ පලඳින්නන් බවට හඳුනාගෙන ඇත. ඒ අනුව එම පළාතේ වාර්තා වූ රෝගීන් හා සැසඳීමේදී උපැස් යුවල පැලඳීම නව කොරෝනාව ආසාදනය වීම පස් ගුණයකින් අඩු කරවන අවස්ථාවක් බවට දැක්විය හැකි බව පර්යේෂකයන් පවසා සිටියි.