ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සම්පුර්ණයෙන් විනාශ කිරීමට නොහැකි බව තමා සිතන බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 69 වැනි සංවත්සරය වෙනුවෙන්
ඊයේ (02දා) මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඒ මහත්මිය මේ බව සඳහන් කළාය.  වර්තමානයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට අත්ව ඇති ඉරණම සම්බන්ධයෙන් කනගාටු වන බවත්, ඊට තමාද වගකිවයුතු බවට සිතෙන බවත් සඳහන් කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය,

"ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තුළ තමයි මම ඉපදුන්නේ, ජීවත් වුණේ වගේම හැදුනේ වැඩුන්නේ. මගේ ජීවිතයේ විශාල කොටසක් මේ පක්‍ෂය වෙනුවෙන් මම කැපකරලා  තියෙනවා. මගේ අම්මයි තාත්තයි වගේ. වැඩිම කාලයක් ආණ්ඩුවේ හිටපු පක්‍ෂය. ඒ වගේම වැඩියෙන්ම රටට හොඳ දේවල් කළ පක්‍ෂය මේක. අද නිදහස් පක්‍ෂයට අත්වෙලා තියෙන ඉරණම ගැන මම ඉතාමත්ම කනගාටු  වෙනවා. මමත් මේකට වගකිවයුතුයි කියලා සිතෙනවා. මම කරපු දේවල් නිසා නෙවෙයි එහෙම හිතෙන්නේ මම නොකරපු දේවල් නිසා. මේ පක්‍ෂය තාත්තා (එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරණායක) බිහි කළා. අම්මා (සිරිමාවෝ බණ්ඩාරණායක) පක්‍ෂයේ සංවිධාන රාමුව  හදලා ශක්තිමත් කළා.

ඒ වගේම මම මේ පක්‍ෂය ශක්තිමත් කළා. 1994 අවුරුදු දාහතක් පසු බලයට ගේන්න මම ඇතුළු පක්‍ෂයේ කිහිප දෙන්නෙක් කටයුතු කළා. ඒ අනුව පක්‍ෂය ශක්තිමත් කරලා රට පාලනය කළ නිසා මේ පක්‍ෂයට අවුරුදු 23ක් බලයේ ඉන්න පුළුවන් වුණා අඛණ්ඩවම. මම දේශපාලනය කරන්න නැවත එන්නේ නෑ කියලා හිතාගෙන හිටියේ. ඒත් මම නැවත දේශපාලනය කරන්න ආවේ රටට වෙන අහිතකර දේවල් නිසා වගේම පක්‍ෂයට වෙලා තිබුණ දේ නිසා. ඒ අනුව මහා සිහිනයක් අනුව 2015 අපි ආවා. වැරදි කරපු අය පක්‍ෂයෙන් ඉවත් කළ නිසා මට කිව්වා දැන් එක්සත් ජාතික පක්‍ෂය සමග එක්වෙලා ඉන්නවා කියලා. ඒක වුණේ නැහැ. ඒත් අපි  ගොඩනගපු දේ කඩාගෙන වැටුණා. ඒ කඩා බිඳ දැමුවේ අපි 2015 බලයට ගෙනාපු පුද්ගලයාම තමයි. මේ පක්‍ෂය සම්පුර්ණයෙන්ම විනාශ කරන්න බැහැ කියලා මම හිතනවා. මේ වගේ ශක්තිමත් පදනමක් තිබෙන, නිර්මල දර්ශනයක් තිබෙන, ඉතාමත් ශ්‍රේෂ්ඨ මිනිසුන්ගේ ලෙයින් සනිටුහන් කළ මේ පක්‍ෂය විනාශ කරන්න බැහැ” යැයිද සඳහන් කළාය.

-දිනේෂ් සමරකෝන්-