නව කොරෝනා ව්‍යාප්තිය මැඬපැවැත්වීමට නම් නිවෙස් තුළ සංවිධානය කරන සාද තවත් වසර තුනක් යනතුරුම පැවැත්වීම තහනම් කළ යුතුව ඇතැයි ජර්මානු විද්‍යාඥයන් පිරිසක් පවසයි. විශේෂයෙන්ම මෙම කාලසීමාව දක්වාම නව කොරෝනා වෛරසය අතුරුදන් නොවීම ඊට හේතුව බව ඔවුන් පෙන්වා දෙයි.
එහිදී උදාහරණ ලෙස ස්කොට්ලන්තය තුළ මෙන්ම බටහිර එංගලන්තය තුළත් පැවැත්වුණු මෙවැනි නිවෙස් ආශ්‍රිත සාද හේතුවෙන් එහි ප්‍රාදේශීයව කැපී පෙනෙන ලෙස නව කොරෝනා ආසාදිතයන් වර්ධනයක් පෙන්නුම් කිරීම ගෙනහැර දක්වමින් මෙම විද්‍යාඥයන් කරුණු දක්වා සිටියි. ඒ අනුව අවම ආසාදිත මට්ටමක් පවත්වාගෙන යාමට නම් තවත් වසර තුනක් මෙම සාද පැවැත්වීම තහනම් කිරීම මෙන්ම, අනෙකුත් මහා පරිමාණ ජනතා ඒකරාශීවීම් නැවැත්විය යුතු බවත් ඔවුන් පෙන්වා දෙයි.

"වෛරසයේ නැතිවීමක් නැහැ. එය දැන් අපේ දෛනික ජීවිතයේ කොටසක් බවට පත්වෙලා. එය තවත් වසර තුනක් අපිත් සමඟ සිටීවි. ඒ නිසා අපිට එය සමඟ ජීවත් වෙන ක්‍රමයක් සොයාගන්න වෙනවා.” නව කොරෝනාවට එරෙහිව සටන් වදින ජර්මානු විද්‍යාඥ මහාචාර්ය හෙන්ඩ්‍රික් ස්ට්‍රික් පවසයි.

ඒ අනුව මෙම සාර්ථකත්වය ළඟාකර ගැනීමට නම් කළ හැකි මූලිකම දේ මෙවැනි 'සුපිරි ව්‍යාප්තියක් පෙන්වන අවස්ථා', එනම් නිවෙස් තුළ සංවිධානය වන සාද සහ නීතිවිරෝධී උත්සව අවස්ථා සංවිධානය කිරීම නැවැත්වීම බවද ඔහු පෙන්වා දෙයි.

"අපි දන්නවා සමාජ දුරස්ථභාවය කියන්නේ මොකක්ද කියලා. එතැනදී කියන්නේ සමූහ වශයෙන් ඒකරාශී වෙන්න එපා කියලයි. ඒ වගේම සෑමවිටම මුඛ ආවරණ පලඳින්නත් කියනවා. මේ දේවල් ඉතාමත් සරල කාරණායි. ඒවායින් තමයි, මහා පරිමාණව සිදුවන ආසාදනයවීම් සඳහා හේතුවන පැතිරීම් යම් තරමකින් හෝ පාලනය කරගැනීමට අපට පුළුවන් වන්නේ."

මෙහිදී නව කොරෝනාවට එරෙහිව එන්නතක් නිර්මාණය කිරීම සිදුකළ හැකි දෙයක් බව පවසන මහාචාර්යවරයා එහෙත් එයට කොපමණ කාලයක් ගත වේදැයි යන්න පිළිබඳව සැකයක් පවතින බවත් අවධාරණය කරයි.

බ්‍රිතාන්‍ය තුළ දැනටමත් මෙවැනි නිවෙස් තුළ සංවිධානය කෙරෙන සාද සහ උත්සව තහනම් කෙරී ඇත. එහිදී නීතිවිරෝධී ජනතා ඒකරාශීවීම් සංවිධානය කරන්නන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා අතර දඩ පැනවීමත් සිදුවෙයි. ඒ අනුව මෙවැනි සාදයක් වෙත හදිසියේම ඇතුළුවෙන පොලිස් නිලධාරීන්ට කොරෝනා නීති කඩකරමින් එහි 80ත් 100ත් අතර පිරිසක් සිටින බව දැකගත හැකි වුවහොත්, එහි සංවිධායකයන්ට පවුම් 10,000ක දඩයක් පැනවෙයි.