තමන් කිසිඳු දිනක පොදු ජන පෙරමුණට හෝ රාජපක්ෂලා සිටින තැනකට හෝ නොයන බව කළුතර දිස්ත්‍රික්කයෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ කුමාර වෙල්ගම මහතා පවසයි.
ඒ මහතා මේ අදහස් පළකළේ මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව කළුතර ජනතාව වෙල්ගම මහතාව පිළිගැනීමේ උත්සවයකට සහභාගී වෙමිනි.

තව දුරටත් අදහස් දැක්වූ කුමාර වෙල්ගම මහතා කියා සිටියේ මෙවර ඡන්දය ගණන් කිරීම සිදු කරනු ලැබුවේ දිනකට පසුව බැවින් සමහර අපේක්ෂකයින් ඒ සම්බන්ධයෙන් සැකයෙන් සිටින බවත් ආණ්ඩු පක්ෂය තුලින්ම ඒ පිළිබඳව චෝදනා මතුවෙමින් පවතින බවත්ය. ඒ සම්බන්ධයෙන් සත්‍ය ජනතාවට ඉදිරියේදී දන ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

මෙවර මැතිවරණයේ පොදු ජන පෙරමුණ ගොඩනැගීම වෙනුවෙන් මහන්සි වූ බොහොමයක් පිරිස් වලට තමන් බලාපොරොත්තු වූ ප්‍රතිඵල ලබාගැනීමට නොහැකි වූ බවත් වසර දෙකක් පමණ කාලයක් ආණ්ඩුව කරගෙන යාමේදී අනිවාර්යයෙන් පවතින තත්වය තුල ගැටළු රාශියක් ඇති වන බවත් ඔහු සඳහන් කළේය.

ආණ්ඩුව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කර 20 ගෙනවිත් ද්විත්ව පුරවැසිභාවය ඇති බැසිල් රාජපක්ෂ මහතාව පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරන බවත් ඔහුට ඊළඟ අගමැති පුටුව ලබාදීමට කටයුතු කරන බවත් කුමාර වෙල්ගම මහතා අදහස් දක්වමින් කියා සිටියේය.

තමන්ගේ ජීවිතය තිබෙනතුරු තම පාක්ෂිකයින් සිටින පැත්තේ සිටින බවත් සමගි ජන බලවේගය අතහැර නොයන බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසීය.