ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ජනපති ධුරය රූපවාහිනී රියලිටි වැඩසටහනක් බවට පත් කරගෙන ඇතැයි එරට හිටපු ජනාධිපතිවරයෙකු වන බරැක් ඔබාමා පවසයි. ඒ අනුව ට්‍රම්ප්ගේ
පරිපාලනය යටතේ රට අද දරුණු අඳුරට පත්ව ඇති බවත්, ඩිමොක්‍රැටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් එම අඳුරු යුගය ඉවත් කිරීමට මූලිකත්වය ගනු ඇති බවත් ඔබාමා පවසයි.


බදාදා දිනයේදී පිලඩෙල්පියාවේ ඇමෙරිකානු විප්ලවීය කෞතුකාගාරයේ පැවැත් වුණු ඩිමොක්‍රැටික් පක්ෂයේ ජාතික සම්මේලනය වෙත සම්බන්ධ වෙමින් ඔබාමා මේ බව සඳහන් කර තිබේ. එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් පැවැත්වුණු මෙම සම්මේලනය නව කොරෝනා වෛරසය හේතුවෙන් අන්තර්ජාලය හරහා පැවැත්වීමට සිදුවිය.

"ජනපති ට්‍රම්ප්ට මේ ජනාධිපති ධුරයේ කටයුතු කිරීම ගැන කිසිම උනන්දුවක් නැහැ. ඔහු මෙය තවත් රියලිටි වැඩසටහනක් බවට පත් කරගෙන. ඔහු ආශා කරන අවධානය ඒ හරහා ලබා ගැනීමට ඔහු උත්සාහ කරනවා." ඔබාමා පවසා තිබේ.

මෙහිදී ඔබාමා ඩිමොක්‍රැටික් පක්ෂ ජනපති අපේක්ෂක ජෝ බයිඩන් තමන්ගේ මිතුරෙකු මෙන්ම සහෝදරයෙකු ලෙසද හඳුන්වා දී ඇත. ඔහු ඔබාමාගේ පාලන සමයේ උප ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය.

මේ අතර, ඔබාමා ඩිමොක්‍රැටික් පක්ෂ ජාතික සම්මේලනයේදී පැවසූ මේ අදහස් වෙත එම ක්ෂණයෙන් ප්‍රතිචාර දක්වා තිබූ ජනපති ට්‍රම්ප්ද, තමන් අද ධවල මන්දිරයේ ඉන්නේ ඔබාමා නිසා බව පවසා ඇත. හිටපු ජනාධිපතිවරයා සිය රාජකාරිය හරිහැටි සිදු කළේනම් තමන්ට ජනපති ධුරයට ඉදිරිපත් වීමට වුවමනාවක් නොවූ බවද ට්‍රම්ප් පවසා ඇත.

"ඔබාමා තමන්ගේ රාජකාරිය හරි හැටි කළේ නැහැ. අද මම මෙතැන ඉන්න ප්‍රධානම හේතුව ජනපති ඔබාමායි, ජෝ බයිඩනුයි. ඔවුන් තමන්ගේ රාජකාරිය හරි හැටි කළා නම් අද මම මෙතැන නොඉන්න පුළුවන්. ඔවුන් හොඳින් රාජකාරි කළා නම් මම මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවෙන්නත් තිබුණා. මම ඉතාමත් සතුටින් මගේ පැවැති ජීවිතය ගත කරන්න තිබුණා.

ඒත් ඔවුන් ඉතාමත් නරක විදියටයි, රාජකාරී කළේ. ඒ නිසා අද මම ඔබලා ඉදිරියේ ජනපතිවරයා ලෙස ඉන්නවා.” ට්‍රම්ප් වැඩිදුරටත් පවසා ඇත.