සීෂෙල්ස් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ දින දාහතරක් නිරෝධායනය වීමෙන් පසු නිවසේ ස්වයං නිරෝධායනය වෙමින් සිටි 54 හැවිරිදි පුද්ගලයෙකුට කෝවිඩ්-19 රෝග ලක්‍ෂණ මතු වීම හේතුවෙන් පෙරේදා
(03) සවස ප්‍රතිකාර සඳහා අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

සීෂෙල්ස් රාජ්‍යයේ නැවක ආරක්‍ෂක නිලධාරියෙකු ලෙස සේවය කරන හෝමාගම, නියදගල ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා පසුගිය මස 11 වැනිදා මෙරටට පැමිණ ඇති අතර, පසුව හෝමාගම,දියගම පිහිටි මොරටුව විශ්වවිද්‍යාලයේ නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුළත්ව දින දාහතරක් නිරෝධායනයට ලක්ව ඇත. අනතුරුව නිවසට පැමිණ ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටියදී එම පුද්ගලයාට උණ, හිසරදය ඇතුළු රෝග ලක්ෂණ මතු වීම හේතුවෙන් වහාම ප්‍රතිකාර සඳහා අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බවද මාගම්මන මහජන සෞඛ්‍ය පරීක්ෂක සම්පත් අල්විස් මහතා පැවසිය.

අයි.ඩී.එච්. රෝහලේදී මේ පුද්ගලයා පී.සී.ආර්.පරීක්ෂණයට ලක් කිරීමට නියමිත අතර, එහි වාර්තාව අද (05දා) ලැබීමෙන් පසු රෝගියාගේ ආශ්‍රිතයන් සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග ඉදිරියේදී ගැනීමට නියමිත බවද මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා පවසා සිටියේය.

ඒ අනුව නිවසේ ස්වයං නිරෝධායනයට ලක් වෙමින් සිටි රෝගියාගේ බිරිඳ දියණියන් දෙපළ තවදුරටත් නිවස තුළම ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බවද සම්පත් අල්විස් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. මෙම අවස්ථාවට සිද්ධමුල්ල මහජන සෞඛ්‍ය පරීක්‍ෂක පී.පී.එච්.පී. මංජුල මහතා ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

- ශාන්ත ප්‍රදීප් කුමාර