මරණීය දණ්ඩනය නියමව සිටින ප්‍රේමලාල් ජයසේකර (චොකාමල්ලි) මහතාටත් රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින සිවනේසතුරේ චන්ද්‍රකාන්තත් නොහොත් පිල්ලෙයාන් මහතාටත්  හෙට (20) පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වන්නැයි දැනුම් දෙමින් ආරාධනා පත්‍ර යවා ඇතැයි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්
නීල් ඉද්දවල මහතා පැවසීය.‍

මැතිවරණ කොමිසම විසින් නිකුත් කෙරුණු ගැසට් නිවේදනයේ නම් සඳහන්ව ඇති සියලුම මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ මංගල රැස්වීමට සහභාගී වන්නැයි ආරාධනා පත්‍ර යැවිය යුතු වන අතර ඒ පදනමින් මේ දෙදෙනාටද ආරාධනා පත්‍ර යැවූ බව නියෝජ්‍ය මහ ලේකම්වරයා කීය.

දෙදෙනා පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණියහොත් රැස්වීමට සහභාගී වීමට ඔවුනට කිසිදු බාධාවක් නැතැයි කී ඉද්දවල මහතා රැස්වීමට සහභාගීවීමට සියලු පහසුකම් සලසා දෙන්නේයැයිද ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් දෙදෙනා පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ නම් ඒ සඳහා අධිකරණයේ අවසරය ලබාගත යුතුව ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.

ප්‍රේමලාල් ජයසේකර මහතාට මරණීය දණ්ඩනය නියමව ඇත්තේ  2015 වර්ෂයේදී කහවත්ත ප්‍රදේශයේදී සිදුවූ මිනීමැරුමක් සම්බන්ධයෙනි. නැගෙනහිර පළාතේ සිදුවූ මිනීමැරුමක් සම්බන්ධයෙන් සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින්නේය. මේ දෙදෙනාම ඉකුත් 5 වැනිදා පැවති මහ මැතිවරණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් තේරිපත් වූහ. ප්‍රේමලාල් ජයසේකර මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකු ලෙස ඉදිරිපත් වුණේ

එම මනාප ලැස්තුවේ දෙවැනියට වැඩිම මනාප ලබාගනිමිනි. ඔහු ලබාගත් මනාප සංඛ්‍යාව එක් ලක්ෂ හතලිස් දහස් විසිනවයකි. පසුගිය මහ මැතිවරණයේදී තමිල් මක්කල් විඩුතලේ පුලිගල් පක්ෂයෙන් මඩකලපුව දිස්ත්‍රික්කයට තරග වැදුණු සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් මනාප පනස් හතර දහස් එකසිය අනූ අටක් ලබාගනිමින් පාර්ලිමේන්තුවට තේරීපත් විය.