මරණ දඬුවම නියමව සිටින රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා නව වැනි පාර්ලිමේන්තුවේ මංගල රැස්වීමට ඊයේ (20) සහභාගි වූයේ නැත.

කිසියම් නීතිමය ගැටලුවක් හේතුවෙන් ජයසේකර මහතා මැති සබයට නොපැමිණෙන්නට ඇතැයි වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය. කෙසේ වෙතත් රිමාන්ඩ් බන්ධනාගාරව සිටින මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් මහතා මැති සබයට ඊයේ (20) පැමිණියේය.

ඔහු පාර්ලිමේන්තුවට පැමිණියේ විශේෂ පොලිස් හා බන්ධනාගාර නිලධාරින්ගේ රැකවල් යටතේය.

පාර්ලිමේන්තුවේ මංගල රැස්වීමට සහභාගි වන්නැයි දැනුම් දෙමින් වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් ප්‍රේමලාල් ජයසේකර මහතාටත් සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් මහතාටත් ආරාධනා පත්‍ර මෙයට දින කිහිපයකට පෙර යවනු ලැබීය.

එසේම මේ මන්ත්‍රීවරුන් දෙදෙනාම පාර්ලිමේන්තුවේ මංගල රැස්වීමට සහභාගි කරවන්නැයි චේත්‍රධාරිවරයාට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් වෙනම ඉල්ලීමක්ද කර තිබිණි.

ඔහු එම ඉල්ලීම කළේ මරණ දඬුවමට එරෙහිව ප්‍රේමලාල් ජයසේකර මහතා ඉදිරිපත් කර ඇති අභියාචනයේ පිටපතක්ද ගොනු කරමිනි.

ප්‍රේමලාල් ජයසේකර මහතාට මරණිය දඬුවම නියම වූයේ කහවත්ත ප්‍රදේශයේදී 2015 වර්ෂයේදී සිදුවූ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙනි.

මඩකලපුවේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් පිල්ලෙයාන් මහතා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටියේය.