යහපාලන රජයේ අදුරදර්ශී ක්‍රියා පිළිවෙත සහ දෙමළ ජාතික සන්ධානය කොළඹට වී සුර සැප විඳීමේ ප්‍රතිඵලය මත උඩ ජනතාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වටා එක්වූ බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.

ඇය පෙන්වා දුන්නේ නැගෙනහිර පළාතේ දමිළ ජනතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩපිළිවෙල අගය කරන බව මෙවර පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල අනුව පෙන්නුම් කරන බවයි.

එසේ 2015 පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී එවකට පැවති යහපාලන ආණ්ඩුවට නැගෙනහිර පළාතේ දළ ජනතාව සහයෝගය දැක්වුවද, ඒ පළාතට කිසිදු ප්‍රයෝජනයක් වී නැතැයි ඔවුන් පැහැදිලී සාක්ෂි සහිතව ඔප්පුකර ඇතැයිද ආණ්ඩුකාරවරිය කීවාය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරිය,

"නැගෙනහිර පළාතේ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කළ පළාත් සභා මන්ත්‍රීවරයෙක් ඇතුළු මහජන නියෝජිතයන් 15 දෙනෙකු මෙවර සෘජුවම පොහොට්ටුවට සහාය දැක්වුවා. ඇත්තටම ඔවුන්ට දෙමළ දේශපාලන පක්ෂවල නායකයන් කරපු වැඩ පිළිබඳ කලකිරිලා, එම සහාය දැක්වීම නිසාම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ 2015 මහ මැතිවරණයට සාපේක්ෂව මෙවර පොහොට්ටුවට වැඩි ඡන්ද 30,218ක් තියෙනවා. දෙමළ ජාතික සන්ධානයට ගියවර මහ මැතිවරණයට සාපේක්ෂව මෙවර ඡන්ද 12,324ක් අඩු වෙලා.

 ඒ විතරක් නොවේ අම්පාර දිස්ත්‍රික්කයේ ගියවර මහ මැතිවරණයට සාපේක්ෂව මෙවර ඡන්ද 36,678ක් පොහොට්ටුවට එකතු වෙලා. දෙමළ ජාතික සන්ධානයට ඡන්ද 20,166ක් අඩු වෙලා. මඩකලපුවෙන් පොහොට්ටුවට මෙවර 1,192ක් වැඩි වෙලා. ඒ වගේම දෙමළ ජාතික සන්ධානයට ඡන්ද 47,785ක් ගියවර මහ මැතිවරණයට සාපේක්ෂව අඩු වෙලා. අහිංසක මිනිසුන්ගේ ඡන්දය අරගෙන ටී.එන්.ඒ. මන්ත්‍රීවරු

කොළඹට වෙලා සුර සැප වින්දා. පළාතේ ජනතාව ගැන ඔවුන් කිසිම තැකීමක් කලේ නැහැ. ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර යන දිස්ත්‍රික්කවල දෙමළ ඡන්ද පොහොට්ටුවට එක්වීමෙන් මේ වෙනස පැහැදිලිව පේනවා, අපේ ආණ්ඩුවට දෙමළ ජනතාව විරුද්ධ බව ටී.එන්.ඒ. එකේ මන්ත්‍රීවරු ජාත්‍යන්තරයට පවා මතයක් අරගෙන ගියා, අද අපේ පක්ෂයට දෙමළ ජනතාවගේ සහාය ලැබීම තුළින් ඒ මතය පුස්සක් බව ඉතා පැහැදිලිව පේනවා. ජාත්‍යන්තරය රවට්ටපු ටී.එන්.ඒ. මන්ත්‍රීවරුන්ට අද දමිළ ජනතාව පාඩමක් උගන්නපු එක ඉතා සතුටුයි" යැයිද පවසා සිටියාය.

(නිදර්ශනී වික්‍රමසිංහ)