අනුරාධපුර නගරය ආසන්නයේ පිහිටි විජයපුර, ගෙවල් 55 හා තුන්වැනි පියවර ප්‍රදේශවලට ඊයේ (06දා) උදෑසන වල් අලින් දෙදෙනෙකු හදිසියේම කඩා වැදී එම ප්‍රදේශවල අතුරු මාර්ග ඔස්සේ සැරී සැරීම නිසා භීතියට පත්වූ ජනතාව සන්සුන් කිරීම සදහා අනුරාධපුර මූලස්ථාන පොලිසියට හා පොලිස් විශේෂ කාර්ය
බළකායට විශාල වෙහෙසක් දැරීමට සිදුය. අනුරාධපුර විජයපුර හන්දිය ආසන්නයට වල් අලින් දෙදෙනා පැමිණීමත් සමග එම තුලාන බාරව සිටින ග්‍රාම නිලධාරිවරයා අනුරාධපුර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ,
අනුරාධපුර නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් රුවන් ඒකනායක යන මහත්වරුන් ඇතුළු නිලධාරින් දැනුම්වත් කිරීමත් සමග පොලිස් ආරක්ෂාව ලබා ගැනීමට නිලධාරීහු කටයුතු කළහ. වහාම ක්‍රියාත්මකවූ අනුරාධපුරයට මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.එම්. සංජීව මහනාම මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් එම ප්‍රදේශයට ගොස් ජනතාවට ආරක්ෂාව සැලසූ අතර පොලිස් විශේෂ කාර්ය බළකායේ සහය ලබාගැනීමටත් කටයුතු සිදුකර තිබුණි.


වල් අලින් විජයපුර ප්‍රදේශයට කඩා වැදීමත් සමග අනුරාධපුර වනජීවි අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරින් හා පණ්ඩුලගම පශු වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරිහු අලින් පන්නා දැමීමේ මෙහෙයුම් සඳහා සහභාගි වී සිටියහ. වල් අලින් දෙදෙනා ඊයේ (06දා) අලුයම කීරික්කුලම යහලේම උණගස්වැව පාලාඩිකුලම තුරුවිල හිදෝගම හරහා අනුරාධපුර නගරාසන්නට පැමිණෙන්නට ඇති බවට වනජීවි නිලධාරින් සැක  පහළ කළ අතර අලුයම පහට පමණ අනුරාධපුර නගරයට කිලෝමීටර නමයක් පමණ ඈතින් පිහිටි යහලේගම පදිංචිකරුවෙකු, වන අලින් දෙදෙනා ගම්මානයේ ප්‍රධාන මාර්ගයක් ඔස්සේ ගමන් කරනා අයුරු දැක තිබේ.

විජයපුර සිට කිලෝමිටරයක් දෙකක් පමණ ඈතින් පිහිටි පුබුදුපුර තුන්වැනි පියවර ගෙවල් 55 දෙසට පැමිණි වල් අලින් දෙදෙනා නිවාස පිහිටි වතු මැදින් ගේට්ටු විවර කරමින් හා අඩි හතක් පමණ උසින් පිහිටි නිවාසවල ආරක්ෂිත තාප්පවලින් කානු මතින් පනිමින් නිදහසේ ගමන් කරනා ආකාරය කැමරාවේ සටහන් කර ගැනීමට හැකිවිය. වල් අලින් ඈත කැලෑවට පන්නා දැමිමට පැමිණි වනජීවී නිලධාරින්ට පැය පහකට අධික කාලයක් ගතවුවත් වල් අලින් සැඟවුණු ස්ථානය නිශ්චිතව සොයා ගැනීමට නොහැකි වූ අතර අලිවෙඩි භාවිතා නොකිරීමට නිලධාරීහු කටයුතු කළහ.

අලි වෙඩි භාවිත කිරීමෙන් වල් අලි දෙදෙනා කුලප්පුවීම සිදු වුවහොත් ජීවිත හානි හෝ දේපළ හානි සිදුවීමේ ඉඩකඩක් ඇති නිසා නිලධාරිහු ඉතා සූක්ෂමව අලින් සෙවීමේ කටයුතුවල ඊයේ (06දා) මධ්‍යහනය වනවිටත් සිදුකරමින් සිටියහ. වන අලින් පැමිණි යහලේගම ප්‍රදේශයේ නිවාස දෙකකට  පහරදී අලාභහානි සිදුකර තිබෙන බව අනාවරණය විය.

-බී.ජී.චතුරංග-