ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.ය) 2021 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ජෛව ආරක්ෂණ කළමනාකරුවෙකු (Bio security Manager) පත් කිරීමට යෝජනා කර තිබේ.



ඒ සඳහා මූලික කටයුතු මේ වනවිට අයි.සී.සී.ය සිදු කර ඇති අතර, මේ සඳහා මූලික හේතුව වී ඇත්තේ ලොව පුරා වසංගතයක් ලෙස පැතිරුණු 'කෝවිඩ්-19’ වෛරසයයි.

කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය නවසීලන්තයේදී ලබන වසරේ (2021) පෙබරවාරි සහ මාර්තු මාසවලදී පැවැත්වීමට නියමිතව ඇත.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය " මේ පිළිබඳව සහ අනෙකුත් අයි.සී.සී. තරඟාවලි සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද (07දා දිනයේදී රැස්වීමට නියමිතය. 'කෝවිඩ් -19' වසංගතය හේත්තුවෙන් මෙම වසරේ (2020) ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ සුදුසුකම් ලැබීමේ තරඟාවලිය දින නියමයක් නොමැතිව කල් දැමුණි.

එංගලන්තය, ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, ඉන්දියාව සහ සත්කාරක නවසීලන්තය පමණක් මේ වනවිට එම තරඟාවලියට සෘජුව සුදුසුකම් ලබා ඇති අතර, තවත් කණ්ඩායම් 03ක් සඳහා සුදුසුකම් ලැබීමේ තරඟාවලිය පැවැත්වීමට නියමිතය.

මේ වනවිට අයි.සී.සී. ලෝක කුසලාන සංවිධායක කමිටුව විසින් නවසීලන්ත ක්‍රිකට් ආයතනය සහ නවසීලන්ත රජය සමඟ සාකච්ඡා කර ජෛව ආරක්ෂණ ක්‍රමවේද සැකසීමට දැනටමත් පියවර ගෙන තිබේ. එහි එක් කරුණක් ලෙස ජෛව ආරක්ෂණ කළමනාකරුවෙකු පත්කිරීමට නියමිතය. ජෛව ආරක්ෂණ ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම ජෛව ආරක්ෂණ කළමනාකරුගේ කාර්යභාරය වන අතර, එම සැලැස්මේ එක් කොටසක් වනුයේ නිරෝධායනය වීම සඳහා සති දෙකකට පෙර කණ්ඩායම් ගෙන්වා ගැනීමයි.

නවසීලන්තයේ ක්‍රියාත්මක නිරෝධායන රෙගුලාසිවලට අනුව දැනට රට තුළට ඇතුළු වීමෙන් පසු සති දෙකක කාලයක් නිරෝධායනය වීම අනිවාර්ය කර තිබේ. මීට පෙර අදාළ කණ්ඩායම් ජනවාරි මස අග වන විට නවසීලන්තයට පැමිණෙනු ඇතැයි අපේක්ෂ කළ නමුත් ඒ සඳහා වන නවතම පිරිවැය යළිත් සලකා බැලීමට නියමිතය.

'කෝවිඩ්-19වසංගතයෙන් ලොව අවම පීඩාවට පත් වූ රටක් ලෙස නවසීලන්තය සඳහන් කළ හැකි අතර මාර්තු මාසයේදී ගුවන්තොටුපළවල් වසා දැමීම හේතුවෙන් මේ වනවිට තත්ත්වය සම්පූර්ණයෙන් පාලනය කිරීමට සමත්ව සිටී.

මේ අතර 2021 කාන්තා ලෝක කුසලානය තරඟාවලිය සඳහා ටිකට්පත් තවමත් විකිණීම අරඹා නොමැති අතර, එය ලබන සැප්තැම්බර් හෝ ඔක්තෝම්බර් මාසවල ක්‍රියාත්මක කිරීමට අයි.සී.සී.ය. අවධානය යොමු කර තිබේ.

- පැතුම් ශ්‍රී විජේරත්න -