නවසීලන්තය විසින් දේශීයව සම්ප්‍රේෂණය වූ COVID-19 වෛරසය ආසාදිතයන් 4 දෙනෙකු වාර්තා කර ඇති අතර, එය දේශීය ආසාදනයකින් තොරව දින 102ක දහරාව බිඳ දැමීමකි.
නවසීලන්තයේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ඈෂ්ලි බිලූම්ෆීල්ඩ්ට අනුව මෙම සිද්ධීන් හතරම දකුණු ඕක්ලන්ඩ්හි එක් නිවසක් ආශ්‍රිතව හමුවී ඇති අතර, නව ආසාදිතයන් කිසිවෙකු නවසීලන්තයෙන් පිටත සංචාරය කර නොමැත.

"අප ඒ කාලය සඳහා සුදානම් වෙමින් සිටියා. එවැනි පිපිරීමක් සඳහා වූ ඒ කාලය දැන් එළැඹ තිබෙනවා. ඒ සඳහා සෞඛ්‍ය පද්ධතිය හොදින් සූදානම් " වෛද්‍ය බ්ලූම්ෆීල්ඩ් පැවසීය. රටේ වඩාත්ම ජනාකීර්ණ නගරය වන ඕක්ලන්ඩ්හි තාවකාලිකව තුන්වැනි මට්ටමේ වසංගත සීමාවන් දින තුනක් සඳහා අද (12දා) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කරන බව නවසීලන්ත අගමැති ජසින්ඩා ආර්ඩේන් ප්‍රකාශ කළාය. "අපගේ පූර්වාරක්ෂක ප්‍රවේශයට අනුකූලව අප සමග ඉක්මන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඕක්ලන්ඩ් වැසියන්ගෙන්  ඉල්ලා සිටිනවා." අගමැතිනිය පැවසුවේ මෙම අගුලු දැමීම සෞඛ්‍ය නිලධාරීන්ට හදිසි සම්බන්ධතා සොයා ගැනීමට සහ තත්ත්වය තක්සේරු කිරීමට ඉඩ සලසන බවය.

නව සීමාවන් යටතේ අවන්හල්, මත්පැන් හල් සහ  අත්‍යවශ්‍ය නොවන වෙළෙඳ සැල් ඇතුළු ව්‍යාපාර වසා දමනු ඇත. සිල්ලර වෙළඳ සැල්වලින් සැපයුම් ලබා  ගැනීම වැනි අත්‍යවශ්‍ය ක්‍රියාකාරකම්  සිදුකිරීම සඳහා ජනතාවට තම නිවෙස්වලින් පිටවීමට අවසර ලැබේ. පුද්ගලයන් 10කට වැඩි සංඛ්‍යාවක් එක්රැස් කිරීමද සීමා කෙරෙන අතර, පාසල් දින තුනක් වසා තබනු ඇත. එහිදී ඕක්ලන්ඩ්වලින්  පිටත, නවසීලන්තයේ සෙසු ප්‍රදේශවල දෙවැනි මට්ටමේ සීමාවන් කරා යනු ඇත.