පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරින් සිදුකිරීමට නියමි වැටලීම් පිළිබඳව ප්‍රබල කුඩු ජාවාරම්කරුවකු වන වෙලේ සුඳාට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් විසින්ම තොරතුරු
ලබාදීමේ සිද්ධියක් පිළිබඳ විමර්ශනයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂකවරයාව සිටියදී තමා සිදුකළ බව වැඩ තහනමකට ලක්වී සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් සමුහ ඝාතනය  කිරීමේ නඩුව විභාග කරන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල (Trial At Bar) හමුවේ සාක්කි දෙමින් ඊයේ (8) පැවසීය.

විත්තියේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් එසේ පැවසු නාලක ද සිල්වා මහතා වෙලේ සුදාට තොරතුරු දුන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අරුණ නමැති කොස්තාපල් අත්අඩංගුවට ගනු ලැබුවේ මෙම නඩුවේ විත්තිකාර රංගජීව නමැති නිලධාරියා ඇතුළු නිලධාරින් පිරිසක් විසින් බවද අධිකරණය හමුවේ පැවසීය.

මෙම නඩුව මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග (සභාපති) ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවන ලදී. නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම නඩුව විභාග කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල (Trial At Bar) පත් කර තිබිණි.2012 නොවැම්බර් මස 10 වැනිඳා හෝ ඊට ආසන්න දිනයක වැලිකඩ බන්ධනාගාරයේදී එහි රඳවා සිටි රැඳවියන් සමුහ ඝාතනය කිරීම ඇතුළු අපරාධ නඩු විධාන සංග්‍රහ පනත යටතේ අධි චෝදනා 33 ක් යටතේ නීතීපතිවරයා විසින් නඩු පවරා ඇත.

මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්‍ෂකවරයකු ලෙස සේවය කළ දැනට පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ රාජකාරි කරන නියෝමාල් රංගජීව සහ එවකට මැගසින් බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරීවරයා ලෙස කටයුතු කළ එමිල් රංජන් ළමාහේවා යන මහත්වරු අධිකරණයේ පෙනී සිටියහ.

වැඩ තහනමකට ලක්වී සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සාක්කිකරුවකු වශයෙන් මෙහිදී අධිකරණයේ පෙනී සිටි අතර විත්තියේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දුන් ඒ මහතා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් සිදුකිරීමට නියමිත වැටලීම් පිළිබඳව ප්‍රබල කුඩු ජාවාරම්කරුවකු වන වෙලේ සුදා නමැත්තාට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රාජකාරී කළ අරුණ පෙරේරා නමැති කොස්තාපල් විසින් තොරතුරු ලබාදීමේ සිද්ධියක් තමාට මතකයේ ඇතැයි කීය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්‍ෂවරයාව සිටියදී තමා එම සිද්ධිය පිළිබඳ විමර්ශනයක් සිදුකළ බවද වෙලේ සුදාට තොරතුරු දුන් අරුණ නමැති එම කොස්තාපල් අත්අඩංගුවට ගනු ලැබුවේ මෙම නඩුවේ විත්තිකාර රංගජීව නමැති නිලධාරියා ඇතුළු නිලධාරින් පිරිසක් විසින් යැයිද කී නාලක ද සිල්වා මහතා කොස්තාපල් අරුණ හා වෙලේ සුදා අතර ඇතිවු සංවාදවල හඬ පටද සොයාගෙන තිබුණේ යැයිද කීය. වැඩිදුර විභාගය පැවැත්වේ .

(මනෝප්‍රිය ගුණසේකර)