සියලුම ශ්‍රේණි සඳහා පාසල් ආරම්භ කිරීමෙන් පසු දුරස්ථභාවය තබා ගැනීම සඳහා ඉඩපහසුකම් නොමැති නාගරික පාසල්වල සිසුන් කාණ්ඩ වශයෙන් කැඳවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.



සිසුන් ස්ථානගත කිරීමේ දී පාසල්වල සියලුම ස්ථාන ප්‍රයෝජනයට ගන්නා ලෙසට පාසල් ප්‍රධානීන්ට දැනටමත් උපදෙස් දී ඇති අතර එම ක්‍රියාමාර්ගයෙන් පසුවත් ඉඩකඩ ප්‍රමාණවත් නොවන්නේ නම් කාණ්ඩ ලෙස සිසුන් කැඳවිය යුතු බව අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් ඊයේ (28 වැනිදා) පැවසීය. ගම්බද පාසල්වලට මෙම ගැටලුව උද්ගත නොවන නමුත් නගරාශ්‍රිත ප්‍රධාන පෙළේ පාසල්වල දුරස්ථභාවය තබා ගැනීමේ ගැටලුවට මුහුණදෙන බවද එම නිලධාරියා කියයි.

සිසුන් අතර දුරස්ථභාවය තබා ගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අනිවාර්ය කර ඇති හෙයින් සිසුන් කාණ්ඩ ලෙස ගෙන්වීම හැර වෙනත් විකල්පයක් නැතැයිද සඳහන් කළේය. අගෝස්තු 10 වැනිදා සියලුම ශ්‍රේණි සඳහා පාසල් විවෘත කිරීමෙන් පසු අනුගමනය කළ යුතු විධිවිධාන අමාත්‍යාංශය මගින් ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතය.

•නිලන්ත මදුරාවල