දෙහිවල නැදිමාල ව්‍යපාරික ස්ථානභූමියක සිමෙන්තියෙන් තනන ලද මාළු ටැංකියක පතුලේ සඟවා තිබූ තියුණු ආයුධ රැසක්, වායු රයිෆලයක්, ගස් ටින් හා වායු උණ්ඩ තොගයක් ඊයේ (19) සොයාගත් බව දෙහිවල පොලිසිය කියයි.
සොයාගත් එම භාණ්ඩ අතර රම්බෝ පිහි හතරක්,
විශාල ප්‍රමාණයේ කඩුවක්, වායු රයිෆලයක්, ගෑස් ටින් විසිදෙකක්, උණ්ඩ 150 ට ආසන්න  ප්‍රමාණයක් අඩංගු  ටින් හයක් පොලිසිය බාරයට ගෙන ඇත.
පාස්කු ප්‍රහාර වූ සමයේ මෙම අවි ආයුධ තොගය සඟවා තබන්නට ඇති බවට මේවනවිට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වූ තොරතුරු අනුව බොහෝ දුරට සැක කළ හැකි යැයි පොලිසිය කියයි.
 මීට වසර එකහමාරකට ඉහතදී මුස්ලිම් ව්‍යාපාරිකයෙකු මෙම ස්ථානයේ මෝටර් රථ අලෙවි කිරිමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් තිබී ඇති අතර මීට දින කිහිපයකට ඉහතදී එම ව්‍යාපාරය පවත්වාගෙන ගිය පුද්ගලයා එම භූමිය එහි අයිතිකරුට ලබා දීමෙන් පසු ඔහු නැවත වෙනත් පුද්ගලයකුට කුලී පදනම මත එය ලබා දී තිබූ බව පොලිසිය කියයි.


එය මෑතක දී ලබා ගත් පුද්ගලයා ලී මඩුවක් ආරම්භ කිරීම සඳහා එම භූමිය කම්කරු සේවකයන් යොදා සකස් කරමින් සිටියදී භූමියේ කාර්යාලය අසල තිබූ සිමෙන්තියෙත් තතත ලද මාළු ටැංකියක් කඩා ඉවත් කිරීමටද එම සේවකයන්ට දැනුම් දීම හේතුවෙන් ඔවුන් එහි ආවරණ කොටස් කපා ඉවත් කර පතුලට දමා තිබූ සිමෙන්ති බැම්ම කඩා ඉවත් කිරීමට යාමේදී සේවකයකු සතුව තිබූ අලවංගුවට යමක ගැටෙන ශබ්දය ඇසී පරික්ෂා කිරීමේදී පොහොර උරයක යමක් තිබෙනු අයුරු දැක ඒ බව ව්‍යාපාරිකයාට දැනුම්දී තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට මේ සම්බන්ධයෙන් කරන ලද දැනුම් දීමකින් පසු දෙහිවල පොලිසියේ නිලධාරින් එම ස්ථානයට ගොස් පොහොර උරය තුළ තිබූ භාණ්ඩ පොලිස් බාරයට ගත් බව පොලිස් නිලධාරියා වැඩි දුරටත් පැවැසීය.  මෙම භූමියේ මීට පෙර මෝටර් රථ අලෙවි කිරීමේ ව්‍යාපාරය කළත් ව්‍යාපාරිකයා පාස්කු ප්‍රහාරය සමයේ ආරක්ෂක අංශවලින් සිදුකළ සෝදිසි මෙහෙයුමේදී කඩු හයක් සමග පොලිස්  අත්අඩංගුවට පත් වූවකු බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.


එම පුද්ගලයා විසින් මෙම භාණ්ඩ  ආරක්ෂක අංශවලට හසුවීම වළක්වා ලීම සඳහා මේ අයුරින් මාළු ටැංකියේ පතුලේ සඟවා ඒ මගින් සිමෙන්ති යොදන්නට ඇතැයි උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.
 ගල්කිස්ස කොට්ඨාස අපරාධ ස්ථාන පරික්ෂක නිලධාරිහු ද එම ස්ථානයට පැමිණ පරික්ෂණ සිදු කළහ.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙත්තකෝන් මහතාගේ උපදෙස් මත ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් ප්‍රේමරත්න, සහකාර පොලිස් අධිකාරි හෙට්ටිආරච්චි මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ දෙහිවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එච්.එල්. දුෂ්මන්ත, උපපොලිස් පරික්ෂක ප්‍රහාත් මහත්වරු පරික්‍ෂණ පවත්වති.

(බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ)