බ්‍රසීලයේ ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ (65) අද සිදු කළ පරීක්ෂණයෙන් කොරොන වයිරසයට ධනාත්මක වූ බව වාර්තා කර තිබේ.
බ්‍රසීලය පුරා කොරෝන වෛරසය ව්‍යාප්ත වීමට මෙම ජනපතිවරයාගේ නොසැලකිලිමත් පාලනය හේතුවූ බවට විවේචන පැවතුණි. ඔහු කොරෝනා රට පුරා ඔඩුදුවද්දී එය තවත් එක් වෛරසයක් ලෙස පමණක් දක්වමින්
අගුලුදැමීම හෝ නිරෝධායන ක්‍රියාමාර්ග කෙරෙහි සැලකිල්ලක් නොදැක්වූ අතර මේ නිසාම අසීමාන්තික ලෙස රෝගය පැතිරිණි. මුහුණු ආවරණ පැළඳීම ගැන නොසැලකිලිමත්වූ බොල්සොනාරෝ තමන්ට කොරෝනා බව දැන්වූ මාධ්‍ය හමුවේදී වාර්තාකරුවන්ට ඒකරුණ පවසා මුහුණු ආවරණ ඉවත්කර පිටව යාම විසුළු සහගත විය.


'මම හොඳින්, මට සාමාන්‍යයි. මට අද මෙතැන ඇවිදින්නට වුවමනාව තියනවා ඒත් වෛද්‍ය නිර්දේශ නිසා මට එය කළ නොහැකිය. ”65 හැවිරිදි ඔහු බ්‍රසීලියාවේ ජනාධිපති මන්දිරයෙන් පිටත වාර්තාකරුවන්ට පැවසීය. කොරෝනා සඳහා දැන් ලෝකය ප්‍රතික්ෂේප කළ ඖෂධයවූ හයිඩ්‍රොක්සික්ලෝරෝක්වින් තමා ලබාගෙන ඇති බවද ඔහු අද පැවති මාධ්‍ය හමුවේදී අනාවරණය කළේය.
තමා රෝහලකදී පරීක්ෂාවට ලක් කර ඇති බවත්, එක්ස් කිරණ මගින් ඔහුගේ පෙනහළු පිරිසිදු බව පෙන්නුම් කළ බවත් ජනාධිපතිවරයා ආධාරකරුවන්ට පැවසීය.
බ්‍රසීලයෙහි කොරෝනා ආසාදිතයින් මිලියන 1.6 කට වඩා වැඩි සංඛ්‍යාවක් සහ මරණ 65,487 ක් වන අතර, එම සංඛ්‍යා දෙකම එක්සත් ජනපදයට පමණක් දෙවැනි වේ.
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ෆ්ලොරිඩාවේදී හමුවීමෙන් පසු මාර්තු මාසයේදී බොල්සැනාරෝ තුන් වතාවක් කොරෝනා පරීක්ෂණ කළ අතර ඒ 3 ම සෘණාත්මක වූවත් 4 වැන්න ධනාත්මකවී ඇත.

ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ජනාධිපතිවරයා සිය නිවසේ සිටින අතර ඔහු හොඳ සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි.
හිටපු හමුදා කපිතාන්වරයෙකු වන බොල්සොනාරෝ මීට පෙර පවසා ඇත්තේ මලල ක්‍රීඩකයෙකු ලෙස ඔහුගේ ඉතිහාසය වෛරසයෙන් ආරක්ෂාකාරී එකක් බවත් එය 'කුඩා උණක්' පමණක් බවත්ය.