රාජාංගණය ප්‍රදේශයේ අවුරුදු 12ක් වයසැති දැරියකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව
ඊයේ වාර්තා විය. ප්‍රදේශයේ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කරන පරිදි මෙසේ රෝගයට ගොදුරු වී ඇත්තේ රන්දෙණිගම පදිංචි යාය 5 විදුහලේ 7 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියකය. ඉකුත් 16 දා සිදුකළ
පී.සී.ආර්. පරික්ෂණයේ ප්‍රතිඵල 17 දින ලැබීමත් සමග ඇයට රෝගය වැළඳී ඇති බව අනාවරණය කරගෙන තිබේ.
රාජාංගණයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන සංවර්ධන නිලධාරිනියගේ ඥාතියකුගේ අවමංගල්‍ය උත්සවය පසුගිය දිනක රාජාංගණය යාය ප්‍රදේශයේ පැවැති අතර ඉන්පසු පැවැති සත් දින දානමය පින්කමෙන් පසු තවත් කිහිප දෙනකුට මෙම රෝගය වැළඳිණි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරිනියගේ නැන්දණිය
හා නෑනා ද රෝගයට ගොදුරුවී තිබූ අතර නෑනාගේ ස්වාමියා ටද රෝගය වැළඳී ඇත.
ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා විසින් මෙම දැරිය ඇගේ ඥති නිවසක නතර කර තිබිණි. තම මවට හා මිත්තණියට කොරෝනා වැළඳී තිබීම නිසා මෙම දැරිය හා දැරිය නතර වී සිටි නිවසේ පිරිස 16 දා පී.සී. ආර්. පරික්ෂණයට භාජනය කොට තිබූ අතර එහි ප්‍රතිඵල 17 දින ලැබුණු අතර ඒ අනුව දැරියට කොරෝනා රෝගය වැළඳී ඇති බව තහවුරු කරගෙන තිබේ. කෙසේ නමුත් දැරිය නැවතී සිටි නිවසේ කිසිවකුටත් මෙම රෝගය වැළඳී නොමැති බව වාර්තා විය.
රාජාගණය ප්‍රදේශයේ පදිංචි යුද හමුදා නිලධාරියෙකු කන්දකාඩු පුනරුත්ථාපනය මධ්‍යස්ථානයේ උපදේශකවරයකු වශයෙන් කටයුතු කරන අතර ඔහුට මෙම රෝගය වැළඳීමෙන් පසු ඔහුගේ පවුලේ පිරිසට හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් කිහිපයකට මෙම රෝගය ව්‍යාප්ත විය. ඒ අනුව මේ වනවිට රාජාංගණයෙන් පමණක් රෝගීන් 18ක් හඳුනාගෙන තිබේ.
(රාජාංගණය - නුවන් කුමාර)