ඇඩම් බින් මොහමඩ් ඉර්වාන් නම් කුඩා දරුවාගේ ප්‍රියතම ආහාරවලින් එකක් වන්නේ මැක්ඩොනල්ඩ් ආහාරය. සිංගප්පූරුව අගුළු දැමීම නිසා මාස කිහිපයක් පුරාම මැක්ඩොනල්ඩ් ආහාර භුක්ති විඳින්න ඔහුට අවස්ථාව ‍නොලැබුණි. අගුළු දැමීමෙන් පසුව තමාට ලැබුණු ප්‍රථම මැක්ඩොනල්ඩ් ආහාර වේල ඔහුව පුදුමයට පත් කිරීමට සමත් වූ අතර එය දරාගත නොහැකිව ඔහු හැඬූ බව එක්සත් රාජධානියේ Mirror පුවත්පතේ වාර්තා විය.

කොරෝනා වෛරස් වසංගය හේතුවෙන් සිංගප්පූරුවට සති කිහිපයකට අගුළු වැටෙද්දී මැක්ඩොනල්ඩ්ලාටද අගුළු වැටුණි. නමුත් පසුව ඇඩම්ගේ මව වන වටී මානසික ආබාධයකින් පෙළෙන තම ආදරණීය පුත් ඇඩම් වෙනුවෙන් මැක්ඩොනල්ඩ් ආහාර වේලක් මිල දී ගෙන ඔහුව පුදුමයට පත් කළාය. ඇඩම්ව පුදුම කළ යුතු නිසා ඔහුට දුටු සැනින් මැක්ඩොනල්ඩ් ආහාර අඩංගු බෑග් හඳුනාගැනීමට ‍නොහැකි වන පරිදි මව එම බෑග් තවත් බෑග් තුළ බහාලන ලදි. නමුත් දරුවාට සුවඳ දැනේවිද කියාත් ඇයට සැක සිතුණි.


මැක්ඩොනල්ඩ් සිට නිවසට පැමිණි මව මේ පිළිබඳව බිඳකුදු අවධානයෙන් නොසිටි තම පුත්ව කෑම කාමරයට රැගෙන ගියාය. මේසය මත තිබෙන පාර්සලය කුමක්දැයි නොදැන සිටි ඇඩම් සිතුවේ මව තමාව රැවටීමට උත්සාහ කරනවා කියාය. එමනිසා ඔහු කෑගසමින් මේසය වටා ඇවිදින්නට විය. නමුත් එය මැක්ඩොනල්ඩ් ආහාර වේලක් බව දැනගත් විගස හැඬීමට පටන්ගත් ඇඩම් දුව ගොස් තම මවව වැළඳගත්තේය‍.

“මං හිතුවේ අම්මා මාව බය කරන්න හදනවා කියලා” ඇඩම් හැඬූ කඳුළින් පැවසුවේය. “මට ඔයාව බය කරන්න ඕනෙ වුණේ නැහැ. මට ඕනෙ වුණේ ඔයාව පුදුම කරන්න. බලන්න පාර්සලය ඇතුළේ මොනවාද තිබුණේ?” අම්මා ඇසීය. “මැක්ඩොනල්ඩ්ස්” ඇඩම් කඳුළු අතරින් පිළිතුරු දුන්නේය. ඇඩම් මැක්ඩොනල්ඩ් ආහාර වේල සන්සුන්ව භුක්ති විඳින අයුරු තවත් වීඩියෝවක දක්නට ලැබුණි. මෙය ඇඩම්ගේ ප්‍රියතම ආහාර වේල බව පැවසූ ඔහුගේ මව විස්තර කළේ ඇඩම්ගේ හැඟීම්බර ප්‍රතිචාරයට හේතු වූයේ ඔහුගේ අධි සංවේදිතාව සහ සුළු මානසික ආබාධ තත්ත්වය බවය. පසුව වටී මෙම සිදුවීම මුහුණු පොතේ බෙදාගත් අතර එයට 73,000ක නැරඹුම් වාර ගණනක් වාර්තා විය. නැරඹූ පිරිස අතරින් එක් පුද්ගලයෙක් පැවසුවේ “මෙම දරුවාගේ අව්‍යාජ ප්‍රතිචාරය ඕනෑම අයෙකුගේ හදවත් ස්පර්ශ කරන” බවය.

(UK Mirror පුවත්පත ඇසුරිනි)
- එස්. දහනායක

[June01,Gossiplankanews.com]